හෝර්ටන් තැන්නේ සැබෑ අසිරිය සොයාඑන්නන්ට ටෝකියෝ සිමෙන්ති සමූහය අනුග්‍රහයෙන් නව ප්‍රවේශයක්

වලාකුළෙන් වැසීගත් කඳුකර සදාහරිත වනාන්තර සහ ක්ෂිතිජය තෙක් පැතිරුනු තෙත් තෘණ බිම් වලින් සැදුම්ලත්, ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ රැසකට තෝතැන්නක් වන, මහ එළිය නොහොත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සැබවින්ම ස්වභාව සෞන්දර්‍යයෙන් අපට ලබාදුන් අමිල සම්පතකි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති මෙම වනෝද්‍යානය තුල දැකිය හැකි අසමසම ජෛව විවිධත්වය, එය සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් බව නැවත තහවුරු කරයි.

ගංගාධර, තෙත් පතන තෘණ භූමි හා වගුරු සහිත තැනිතලාවන් සහ සදාහරිත කඳුකර වනාන්තර හරහා සංචාරකයින්ට ඇවිද යාමට අවසර ලැබෙන ශ්‍රී ලංකාවේ එකම ස්වභාවික රක්ෂිතය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයයි. සාමාන්‍යයෙන් සංචාරකයන් බොහෝදෙනෙක් අඹේවෙල හරහා පට්ටිපොල හෝ ඔහිය සිට වාහනවලින් හෝර්ටන්තැන්න දක්වා යාමට වැඩි කැමැත්තක් දක්වන අතර, හෝර්ටන්තැන්නට පිවිසීමට ඇති තුන්වන මාර්ගය වන කිලෝමීටර් 5ක් වන ඩයගම නැගෙනහිර පදික මංතීරුව බොහෝවිට භාවිතයට ගැනුනේ සීමිත පරිසරලෝලී පිරිසක් විසින් පමණි. හෝර්ටන්තැන්න හරහා වැටී ඇති ලෝ ප්‍රකට Pekoe Trail සංචාරක ගමන්මගෙහි ආකර්ශණීයම කොටස ලෙස අවිවායෙන් පිළිගන්නා මෙම ඩයගම කඳුකර මාර්ගය, සංක්‍රමණික මෙන්ම ආවේණික නේවාසික පක්ෂි විශේෂ රැසක් සමීපව දැකගැනීම අනිවාර්‍යයෙන් සහතික කරන, කුරුලු ලෝලීන් අතර ප්‍රියතම ගමනාන්තයක් ද වේ.

කඳු තරණයට ලැදියාව ඇති සංචාරකයින් අතර විශේෂයෙන් ප්‍රචලිත වීම නිසා ඉතා අඩුවෙන් අධීක්‍ෂණයට ලක්වෙන බැවින් හෝර්ටන් තැන්න කලාපයේ පාරිසරික සංතුලිතතාවය අවදානමට ලක්කළ හැකි පිවිසුම් මාර්ගයක් බවට මෙම ඩයගම නැඟෙනහිර පිවිසුම් මංතීරය පත්ව තිබිනි. දෙපාර්තමේන්තුව සතු සීමිත සම්පත් හේතුවෙන්, මෙම මාර්ගය භාවිතාකරන්නන්ගේ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට විසඳුමක් යෙදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වසර ගණනාවක් පුරා අවහිරතා පැවතින. මෙවන් පසුබිමක් යටතේ, ඩයගම නැගෙනහිර ඇවිදීමේ මංපෙත ආරම්භක පිවිසුමේ වනජීවී අඩෙවි කාර්යාලයක් පිහිටුවීම සඳහා, පාරිසරික සංරක්ෂණය උදෙසා දැඩිකැපවීමක්, විශේෂයෙන්ම හෝර්ටන් තැන්න පරිසර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකරඇති ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයට වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරාධනා කරන ලදී.

එම ආරාධනාවට අනුව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් හෝර්ටන් තැන්න ඩයගම පිවිසුම් මංතීරුවේ ස්ථාපනය කල නව ප්‍රවේශපත්‍ර කවුළුව සහ අඩෙවි කාර්යාලය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීමේ උත්සවය නොබෝදා පැවතිනි. ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් සහ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහත්වරුන් විසින්, ඩයගම ඇවිදින මංතීරුවේ අභිනවයෙන් ඉදිකරන ලද වනජීවී අඩෙවි කාර්යාල සංකීර්ණය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු. නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා වෙත ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරිණි.

එම අවස්තාවට එක්වූ, ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා සිය අදහස් දක්වමින්, “අද වනවිට බොහෝ විද්‍යාඥයින් තහවුරුකොට තිබෙනවා මේ රුක්ෂලතා හා සොබාදහම ඇසුරු කරමින් ශාන්ත සුවයෙන් ගැවසෙන විට, එම ශාඛවලින් නිකුත් කෙරෙන විවිධ තරංග සහ විකිරණ මිනිසාගේ ශාරීරික හා මානසික සුවයට ඉතාම යහපත් රසායනික බලපෑමක් ඇති කරන බව. අද අප ගතකරන කලබලකාරී ජීවන රටාවෙන් මිදී ජීවිතයට පුනර්ජීවයක් ලබාගැනීමට මෙසේ ඝන වනාන්තර සෙවනේ නිසංසලව ගතකිරීමේ පුරුද්ද, බටහිර රටවල විශේෂයෙන්ම ජපන් ජාතිකයින් අතර විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. මෙම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඝන කඳුකර ප්‍රදේශය හරහා වැටී ඇති සුන්දරතම මාර්ගය වන මෙම ඇවිදින මංතීරුවේ සැරිසැරීමෙන් ලැබෙන අසමසම නිස්කලංකබව මා පෞද්ගලිකව අත්විඳ තිබෙනවා. ඒනිසාම, හෝර්ටන් තැන්න පරිසර පද්ධතියේ යහපැවැත්ම උදෙසා මෙම පිවිසුම් මාර්ගය නිවැරදිව භාවිතයට ගැනීමේ වදගත්කම අප හඳුනාගෙන තිබුනා.” යැයි පැවසීය. තවද, හෝර්ටන් තැන්න ඩයගම පිවිසුම් මංතීරුව කඳු නගින්නන් සහ පාපැදිකරුවන් සඳහා පමණක් වෙන්කිරීම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ ස්තූතිය පුදකරමින්, ටෝකියෝ සිමෙන්ති සමූහය මේ සඳහා සිය සම්පත් දායකත්වය ලබාදුන්නේ හෝර්ටන් තැන්න රක්ෂිතය වැනි අද්විතීය ස්වභාවික සම්පත් අපේ අනාගත පරපුර වෙනුවෙන් විද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා බව ඒ මහතා පැවසීය.

ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, නීතීඥවරියක් ද වන ගරු අමාත්‍යතුමියගේ දූරදර්ශී වැඩපිලිවෙල අගයමින්, “මෙම ඩයගම නරඹන්නන්ගේ ප්‍රවේශය, හෝර්ටන් තැන්නේ තවත් එක් විනෝද ගමනකට නොව, එම දර්ශනීය කඳුකර වනාන්තර පද්ධතිය තුලට බැසගනිමින් එහි සුන්දරත්වය අත්‍යන්තයෙන් විඳගැනීමට මෙහි පැමිණෙන අයට විශේෂයෙන්ම කැප වූවක්. මෙය ටෝකියෝ සිමෙන්ති සමූහයේ පාරිසරික තිරසාරභාවය සඳහා වන කැපවීම හොඳින්ම පෙන්වන උදාහරණයක්. මේ හරහා සියලුම ආකාරයේ මෝටර් වාහන ඇතුළුවීම සහ අනවසරයෙන් වනෝද්‍යානයට පිවිසීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය ඉතාම ප්‍රශංසනීයයි. ඒ දූරදර්ශී තීරණය අද පමණක් නොව අපගේ අනාගත පරම්පරාවන් උදෙසා මෙම අද්විතීය ශාක හා සත්ව සංහතියේ ආරක්ෂාව සහතික කරනු ඇති.” බව පැවසීය.

නව වන සංරක්ෂණ අඩෙවි කාර්යාලයට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුම් මාර්ග සහ ඇවිදීමේ මංපෙත් ආශ්‍රිත වැදගත් ස්ථානවල අධ්‍යාපනික සංඥා පුවරු ද ස්ථාපිත කරදීඇත. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන විශේෂ පාරිසරික ලක්ශණ සහ එහි වෙසෙන ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳව නරඹන්නන්ට තොරතුරු සැපයීම ඒවායින් සිදුකෙරේ. ටෝකියෝ සිමෙන්ති සමූහයේ අනුග්‍රහයෙන් Parrotfish Collective ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම තොරතුරු පුවරු, උද්‍යානයේ අසමසම ජෛව විවිධත්වය විදහා දැක්වීමට අමතරව එම පාරිසරික පද්ධතිය මතු පරම්පරා වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව සංචාරකයින් දැනුවත් කරයි. මෙම දූරදර්ශී ස්වභාව සංරක්ෂණ ව්‍යාපෘතිය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අද්විතීය සෞන්දර්‍යය අත්විඳීමට පැමිණෙන සැබෑ පරිසරලෝලීන්ගේ අත්දැකීම පොහොසත් කරනු ඇති බව ටෝකියෝ සිමෙන්ති සමූහයේ අපේක්ෂාවයි.

 

 

(වමේ සිට) ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, කාන්චන ජයරත්න මහතා, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඩයගම ඇවිදින මංතීරුව අධීක්ෂණය කරමින්.

හෝර්ටන් තැන්නේ සැබෑ අසිරිය විඳීමට පැමිණෙන සංචාරකයින් සඳහාම වෙන්වූ ඩයගම පදික මංතීරුව ටෝකියෝ සිමෙන්ති සමූහ‍යෙන් පරිසරලෝලීන් වෙත පිරිනැමූවකි.

 

ඡායාරූප විස්තරය – ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එස්. ආර්. ඥානම් මහතා, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඩයගම අඩෙවි වනජීවී කාර්යාල සංකීර්ණය විවෘත කෙරිණි.

The post හෝර්ටන් තැන්නේ සැබෑ අසිරිය සොයාඑන්නන්ට ටෝකියෝ සිමෙන්ති සමූහය අනුග්‍රහයෙන් නව ප්‍රවේශයක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka