ආණ්ඩුවේ නිරෝධායන මාෆියාව නිසා ලංකාවට එන්න මුදල් සොයමින් ‘රට විරුවන්’ ගණිකා වෘත්තියේ (වීඩියෝ)

ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින්ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් කරන ආයාචනයක් පසුගිය සතියේ ප්‍රබල අවධානයට ලක්විය. 

“මම මේ වීඩියෝ එක කරන්නේ අන්තිමටම අසරණ වුණ වෙලාවේ,” ඇය සිය වේදනාබර ආයාචනය අරඹන්නේ එලෙසිනි. “කියන්න ගොඩක් දේවල් තියෙනවා, නමුත් අහන්න කෙනෙක් ඉඳීද කියන එකයි ප්‍රශ්නේ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ.”

කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් තමන් යළි සියරට ගෙන්වාගන්නා මෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණ බව ඇය පවසන්නීය.

“රුපියලටම අසරණ වුණ හින්ද තමයි ගෑණියෙක් රට එන්නේ. එහෙම ආපු ගෑණු, අද නොදන්න මිනිස්සු එක්ක බුදියල තමයි ලංකාවට එන්න වෙලා තියෙන්නේ. හරිම වේදනයි, කියන්න වචන නැහැ අපේ රටේ ගෑණු ගොඩක් අසරණ වෙලා මේ වෙලාවේ … ,” වේදනාවෙන් හඬමින් ඇය පවසන්නීය.

“මගේ යාලුවෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා තමන්ගේ රටට එන්න විදියක් නැතුව …”

කෙතරම් ආයාචනා කළත් බලධාරීන්ට සිය වේදනාව නොහැඟෙන බවට ඇය චෝදනා කරන්නීය. කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් විදේශයන්හි කොටු වී සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් කරන ඒ හා සමාන ආයාචනා ඇතුළු වාර්තා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය දිනවල දකින්නට ලැබිණ. 

ඉතා ඉක්මණින් ම ඔවුන් යළි සිය රට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සහ විරුද්ධ පක්ෂය ද දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් හිටපු කතානායක කරු ජයසූරිය පවසන්නේ, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි සිය රට පැමිණීමේදී විදේශීය සංචාරකයන්ට වඩා වැඩි මුදලක් සහ කාලයක් වැයකිරීමට සිදුවීම “ජාතික ප්‍රමුඛතා වරදවා ගැනීමක්” බවය. “අපේ රටේ පුරවැසියන්ට මුල් තැන ලැබිය යුතුය.” 

 

මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද ශ්‍රී ලංකා ආණ්ඩුව සංචාරකයන් සහ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන “දෙබිඩි පිළිවෙත” විවේචනය කර තිබිණ. 

sutw

මාධ්‍යවේදිනී මුන්සා මුෂ්ටාක් අදහස් දක්වමින්, තමන් යළි සියරට ගෙන්වා ගන්නා මෙන් ඉල්ලමින් රැකියා අහිමි වූ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් මැද පෙරදිග රටවල “මහ මඟ හිඟා කන” අතරවාරයේ, සිය නිල ලාංඡනය වෙනස් කිරීම පිණිස ටෙලිකොම් ආයතනය රුපියල් බිලියන දෙකක් වියදම් කිරීම දැඩි ලෙස හෙලා දැක තිබිණ. 

munza tw

මේ අතර දෙසැම්බර් 05 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බවට චෝදනාවක් එල්ල කළේය.

“අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට මේ විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා, තව පහලොස් දාහක් විසි දාහක් හොර ඒජන්ට්ලාට දීලා මේකෙ ලැයිස්තුවට නම දාගන්න, මෙහෙට ආවාට පස්සෙ දවසකට දොලොස් දාහක් පහලොස් දාහක් විතර හෝටලේක කාමරේකට දවස ගාණෙ දුන්නාම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතරහමාරක් විතර යනවා එළියට එනකොට,” රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

මේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද මේ පිලිබදව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරන ලදි.

මැද පෙරදිග සේවය කළ ශ්‍රී ලාංකිකයින් 89 දෙනෙකු කොවිඩ් ආසාදනයවී මියගොස් ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ, මැද පෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3,923 දෙනෙකු ගෙවුණු දෙසැම්බර් 30 වනදා විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බවය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(08) දින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන ගැටළු සම්බන්දයෙන් මතුකරන ලද ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීහ.

පසුගිය ජනාධිපතිවරණයේදී ලංකාවට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිතා කල මෙම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අද වනවිට අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටී. ඔවුන් ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට තම විරෝිධය එල්ලකරන්නේ තමන් රැවටුන බවත් ඒ සම්බන්දයෙන් මේ වනවිට කම්පා වන බවයි.

මෙලෙස සමාජ මාධ්‍ය වල සංසරණය වන බොහෝ වීඩියෝ වල ආණ්ඩුව යුක්‍රේන සංචාරකයින් කිසිදු නිරෝධායනයකින් තොරව රැගෙන ඒම පිලිබදවද විසේගත ශ්‍රමිකයින්ගේ දැඩි විරෝධය එල්ලවන බව පෙනී යයි.

The post ආණ්ඩුවේ නිරෝධායන මාෆියාව නිසා ලංකාවට එන්න මුදල් සොයමින් ‘රට විරුවන්’ ගණිකා වෘත්තියේ (වීඩියෝ) appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka