වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත : තල්මසුන්ට පණ දුන් අපේම මිනිස්සු

වෙරළට පැමිණි තල්මසුන් මුහුදට එක් කිරීමේ වීඩියෝවක් නරඹන කෙනකුට විනෝද ජනක හෝ හිංසාකාරී ප්‍රයත්නයක් සේ එය දැකිය හැකිය.

එසේ වුවද මෙම කාර්යයට යොමුවූ පුද්ගල කණ්ඩායම් මේ අසීරු අවස්ථාවේ යොදන ලද ප්‍රයත්නය මහත් සේ අගය කළ යුතු ක්‍රියාවක් බව ආචාර්ය වෝස් පවසයි.

තල්මසුන් පිළිබඳ පර්යේෂිකාවක සහ සමුද්‍ර ජීව විදයාඥවරියකු ලෙස ලෝකයේ නමක් දිනා සිටින ශ්‍රි ලාංකික විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ද වෝස් ද මෙම මෙහෙයුමට සම්බන්ධ වූ අතර ඇයද මෙම සතුන් මුහුදට යොමු කිරීමට අවශ්‍ය මගපෙන්වීම ඇතුළු සහය ලබා දුන්නාය.

මෙම මෙහෙයුම පිළිබඳව ආචාර්ය ආශා ද වෝස් පවසන්නේ මෙවැනි අදහසකි.

“ බැලූ බැල්මට පේන්නේ මේ සතුන් මත මිනිසුන් අනවශ්‍ය ලෙස පොර බදනවා වගෙයි. එහෙත් ඒක එහෙම නෙවෙයි. මෙය විශාල වෙහෙසකර වැඩක්. සාමාන්‍යයෙන් මෙම තල්මසකුගේ බර කිලෝ ග්‍රැම් 1000ත් 3000ත් අතර වෙනවා. ඒ කියන්නේ ටොන් එකත් තුනකුත් අතර බරක්. අනෙක මේ සතුන් සාමාන්‍යයෙන් අඩි 10ත් 18ත් අතර වෙනවා. ඔවුන් හැසිරවීම ට මෙයට සහභාගී වූ අයට තමන්ගේ සියලු ශක්තිය යොදන්න වුණා. දිගු වෙලාවක් වෙරළේ සිටින්නට සිදුව ඇති නිසා ඔවුන් හිටියේත් තල්මසුනුත් හිටියේ දැඩි ආතතිකාරී තත්ත්වයක. අනෙක ඔවුන් ද වෙහෙසට පත්ව තිබුණා. මේ නිසා මිනිසුන් ඔවුන් හසුරවද්දී ඔවුන් දඟලනවා. ඔවුනගේ සියලු ශක්තිය යොදල වලිගය වනත්දී මේ තත්ත්වය පාලනය කරගෙන වතුරේදී මිනිසුන්ට තමනුත් බේරී සතුනුත් බේරා ගන්න අපමණ වෙහෙසක් දැරිය යුතුයි.”

“තල්මසුන් හුස්ම ගන්නේ ඔවුන්ගේ හිසේ ඉහළ කොටසේ තිබෙන පුඩුවලින් . ඒ නිසා හැම වෙලාවෙම අපි උත්සාහ කළේ සතුන් මුහුදට යොමු කරන විට ඔවුන්ගේ හිස ඉහළට සිටින සේ හරවා තල්ලු කිරීමයි. නමුත් මුහුදු රළත් එක්ක මේ දැවැන්ත බරකින් යුතු සතා ඉහළට ඔසවා තල්ලු කිරීම ඔබට හිතා ගන්න පුළුවන් කෙතරම් අසීරු දෙයක්ද කියල. දැඩි මුහුදු රළ එනකොට මේ දැවැන්ත තල්මසුනුත් මිනිස්සුත් එක්කම ආපසු ගොඩ බිම දෙයට විසි වෙනවා. ඔවුන් මේ මෙහෙයුම කළේ කැලි කැපපෙන අඳුරේය. ඔවුන්ගේ සහයට මෙම ස්ථානයට පැමිණි ජීප් රථ කිහිපයක් ඔවුන්ට අවශ්‍ය ආලෝකය හැකිතාක් ලබා දීමට පියවර ගත්හ.”

ආචාර්ය ආශා ද වෝස් පවසන ආකාරයට මේ සඳහා සහභාගී වූ කණ්ඩායම් කිසිදු ලෙසකින් තමන්ගේ ජීවිතය ගැන නොසිතා තමන් විසින් දෙන ද උපදෙස් ද නිසි ලෙස පිළිපදිමින් කළ මේ සුවිශේෂි මෙහෙයුකි.

සතුන් වෙනුවෙන් මිනිසුන් කළ මිහිතලයේ ඓතිහාසික මෙහෙයුමක් බවද ඇය පවසන්නීය. 

පානදුර වෙරළට සේන්දු වී ආපසු යාගත නොහැකිව අසරණ වූ විශාල තල්මසුන් රංචුව මුහුදට යළි යොමු කිරීමේ වෙහෙසකර ප්‍රයත්නය මේ වන විට අවසන් වී තිබේ.

මෙම තල්මස් වර්ගය මෙරට ධීවර ප්‍රජාව හඳුන්වන්නේ කොමඩුවා ලෙසිනි. එසේම මෙම තල්මසුන් මහ කළු තල්මසා ලෙසද හැඳින්වෙන බව ජාතික ජලජ සම්පත් නියෝජිතායතනයේ තල්මසුන් සම්බන්ධ පර්යේෂකයකු වන ආචාර්ය රනිල් නානායක්කාර පවසයි. පයිලට් වේල් (Pilot Whale) නමින් හඳුන්වන තල්මස් ඝනයේ (Globicephala) විශේෂතා දෙකක් සිටින අතර ඔවුන් දිගු වරල දරන (Long Finned) (Globicephala melas සහ කෙටි වරල (Short Finned) දරන විශේෂ Globicephala macrorhynchus ලෙස සඳහන් කර ඇත.

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ප්‍රවීන පරිසරවේදි නයනක රන්වැල්ල මහතා පවසන්නේ තල්මසුන්ගේ දිවි බේරා ගැනීම සඳහා ලෝකයේ සිදු කෙරුණු විශාලතම මෙහෙයුම මෙය විය හැකි බවය.

පැය 16ක් විතර අඛණ්ඩව මනිස්සුන්ට මේ තල්මසුන්ගේ ජීවත සමඟ හැපෙන්න සිදු වුණා. සමහරු මේ පැය 16ම වතුරේ හිටියේ. විශේෂයෙන් නාවික හමුදාවත් සතුන්ගේ දිවි බේරාගැනීම සඳහා ඉක්මනින් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ටීම් අයන් මෑන් නම් ජෙට්ස් කී අධි වේගී කුඩා යාත්‍රා කණ්ඩායමත් ඇතුළු විශාල කණ්ඩායමක් තම දිවි නොතකා මෙම මෙහෙයුමේ නිරත වූ බවත් අවාසනාවකට සතුන් දෙදෙනකු පමණක් මිය ගිය අතර අනෙක් සතුන් බේරා ගැනීමට හැකියාව ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

මේ උතුම් කාර්යයට සහාය දුන් නාවික හමුදාව ප්‍රමුඛ සැම දන වෙත සමස්ත ලෝකයේම ගෞවරවය හිමි විය යුතු බවද රන්වැල්ල මහතා සඳහන් කරයි.

මෙම තල්මසුන් මෙලෙස හදිසියේ වෙරළට පැමිණිමට හේතුව පැහැදිළි කල නොහැකි බවත් ඒ සඳහා මුහුදු දියවැල් අභ්‍යන්තරයේ කම්පන හෝ වෙනත් සාධක බලපාන්නට ඇත්දැයි නිසි හැදැරීමකින් තොරව යමක් ප්‍රකාශ කළ නොහැකි බව ආචාර්ය නානායක්කාර පවසයි.

බොහෝ විට රංචු වශයෙන් සිටින මෙම සතුන් තම නායකයා අනුගමනය කරන බවත් ආචාර්ය නානායක්කාර පවසයි.

Source From local-news AM
Author:
#SriLanka #News #lka