සජිත් කිය­න­කොට එහෙ­මයි කරන කොට මෙහෙ­මයි – හොරු අල්ලන්න කෑමොරදෙන සජිත්ගේ සුපිරි හොරකම් මෙන්න..

පසුගිය කාලයේදී “දිවි නැගුම” ක්ෂේත්‍රයේ අසීමිත මහජන මුදල් කන්දරාවක් ඉලක්ක වූ ජනතාව වෙත යොමු නොකර විවිධ පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් වැය කෙරුණා. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව කිව යුතුයි. මා මේ කරුණු ඉදිරිපත් කරන්නේ “ඔවා දෙනු පරහට තමන් සම්මතයේ පිහිටා” යන්න අනුවයි. අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා ක්‍රියා කළ යුත බව “ධම්මපදයෙහිත්” සඳහන් වනවා. මා කටයුතු කරන්නේ ඇමැතිවරයකුට හිමි වැටුප, නිල වාහන සහ ඒවාට ඉන්ධන, නිල නිවාස, දීමනා සහ වෙනත් ප්‍රතිලාභ ලබා නොගනිමින් බව කිව යුතුයි. ඒවායේ එකතුව මසකට රුපියල් 357,000 ක් වනවා. ඒ මුදල් මා පරිත්‍යාග කරන්නේ රටේ නිවාස හැදීම වෙනුවෙනුයි. කෙටියෙන්ම කිවහොත් ඔබ වෙනුවෙන් සූදානම් කළ සංග්‍රහයට පවා රජයේ මුදල් වැය නොකර දානපතියෙකුගේ අනුග්‍රහය ගත්තා. එවැනි කටයුතු වෙනුවෙන් සමෘද්ධි සහ දිවි නැගුම ක්ෂේත්‍රවල මුදල් ගැනීමේ සදාචාරාත්මක අයිතියක් අපට නැති බව කිව යුතුයි.

සජිත් විපක්ෂ නායකවරයා කියන්නේ තමන් කිසිදු දීමනාවක් හා ප්‍රතිලාභයක් ඇමැතිවරයකු වූ යුගයේ නොගත් බවය. එමෙන්ම එතුමා මුදල් ගැනීමේ සදාචාරය ගැන ද මහත් ආඩම්බරයෙන් කියයි. මේ හෙළිදරව් කරන්නට යන්නේ විපක්ෂ නායකවරයාගේ මුදල් සදාචාරයත් නොගත් දීමනා ගැනත් ලිඛිත සාක්ෂි මත කෙරෙන විග්‍රහයකි.

හිටපු අමාත්‍ය වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාලන කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඇති වූ මූල්‍ය අලාභ සහ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සිදුකර ඇති විගණන වාර්තා සාරාංශය අනුව සිදුව ඇති මුළු අලාභය ආසන්න වශයෙන් ලක්ෂ 635ක් බව හෙළිදරව් වී තිබේ. සජිත් ප්‍රේමදාසගේ අමාත්‍ය කාර්යාලයෙහි මැතිවරණ මෙහෙයුම් කාර්යාලවල සහ අමත්‍යවරයාගේ බිරියට අයත් රූපලාවණ්‍යාගාරයන්හි කටයුතු සඳහා බැහැර සේවාපත් මත සංස්ථා ආරක්ෂක අංශ සේවකයන් යොදවමින් සංස්ථාව මඟින් වැටුප් හා අතිකාල ගෙවීම් කිරීම සම්බන්ධයෙන් 2021 දී පැවති පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඒ ගැන පමණක් වත්මන් විපක්ෂ නායකවරයා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සිදු කර ඇති අලාභය රුපියල් 42,080,582 (රුපියල් ලක්ෂ 420) ක් බවය. මෙම අලාභය අනාවරණය කොට ඇත්තේ විගණන වාර්තාව මඟිනි.

එම විගණන වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව සිටි කාලයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සිදු කළ තවත් මූල්‍ය අලාභ 9ක් ගැන සඳහන් කොට ඇත. ඒ අනුව 2017 වසරේ සිට 2019 දක්වා ක්‍රියාකාරී අධ්‍යක්ෂක සරත් ජී.ජයතිලක විසින් නොපියවා ඇති විශේෂ අත්තිකාරම රුපියල් 2,343,000.00 (රුපියල් ලක්ෂ 23කි.) සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පාලන කාලය තුළ අයථා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයට අයත් ගොඩනැඟිල්ලක් අලුත්වැඩියා කිරීමට සංස්ථා සේවකයන් සහ දේපළ යොදවමින් අවභාවිතයක් සිදු කිරීම පිළිබඳ 2020 විගණනයේදී අනාවරණය වූයේ රුපියල් 13,201,866.40 (රුපියල් ලක්ෂ 132) මුදලක් එමඟින් වත්මන් විපක්ෂ නායකවරයා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සිදු කොට ඇති බවය.

සජිත්ට කියන්නේ පුංචි ප්‍රේමදාස කියාය. ඒත් ඊට කලින් පුංචි ප්‍රේමදාස වූයේ හඩ්සන් සමරසිංහය. හඩ්සන් මහතා මැතිවරණයට ඉල්ලන මුල්වර තම කැම්පේන් එකට පොස්ටර් ගැහුවේ පුංචි ප්‍රේමදාස යනුවෙනි.

සජිත් ඇමැති කාලේ තම පියාගේ දේශපාලන ගැන කිව්වේ මෙසේය.

මගේ පියා “ජන සවිය” ගෙන එන විට ඊට කීවේ “හිඟන සවිය” කියායි. එතුමා නිවාස හදන විට කීවේ “කුකුළු කූඩු” හදනවා කියායි. ඇඟලුම් කම්හල් රට පුරා හදන විට කීවේ අපේ කොල්ලන්, කෙල්ලන් ලවා “සුද්දියන්ට යට ඇඳුම් මස්සනවා” කියාය.

එසේ කියපු සජිත් තම පියාගේ සුචරිතයට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුදල් අත දිග හැර බෙදූ හැටි විගණන වාර්තාවේ සඳහන්ය. 2020 වාර්තාවේ සඳහන් වන පරිදි කොළඹ සුචරිත ශාලා ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමට සංස්ථා සේවකයන් සහ දේපළ යොදවමින් රුපියල් 368,836.55ක අවභාවිතයක් සජිත් ඇමැතිවරයා සිදුකොට ඇති බව සඳහන්ය. එමෙන්ම 2019 විගණන වාර්තාවෙන් තහවුරු කොට ඇත්තේ දකුණු පළාත් වැඩබිම් මට්ටමේ සේවකයන් යොදවා හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කටයුතු සහ උත්සව කටයුතු වෙනුවෙන් සේවකයන් යොදා ගැනීම පිළිබඳ පරීක්ෂණයෙනි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා කොට ඇති අලාභය රුපියල් 2,454,000(රුපියල් ලක්ෂ 24) ක් බවය.

මීට අමතරව මේ විගණන වර්තාවේ ලක්ෂ 3,5,5,3 සහ 2 බැගින් වන මූල්‍ය අලාභ සජිත් ප්‍රේමදාස ඇමැති යුගයේදී සිදු වී ඇති බව තහවුරු කොට ඇත.

2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිවාස අමාත්‍යාංශය සම්බන්ධ චෝදනා 9ක් හුවා දක්වා ඇත. එහි එක් චෝදනාවක් නම් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව රුපියල් කෝටි 07 ක වාහනයක් මිලට ගැනීමයි. අනෙක් බරපතළම චෝදනාව ලෙස හුවා දක්වා ඇත්තේ 2018 ජුලි මාසයේ ගංගොඩවිල ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් රුපියල් මිලියන 100ට මිලට ගැනීමට ගිවිසුම් ගත වීමය.

2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිවාස සංවර්ධන අධිකාරියට චෝදනා කොට ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කළමනාකරණ තනතුරුවලට 2500කට අධික සේවක සංඛ්‍යාවක් බඳවා ගෙන වැටුප්, ප්‍රවාහන දීමනා ගෙවමින් රාජ්‍ය මුදල් අවභාවිත කොට ඇති බවය. එමෙන්ම 2015/01/15 සිට 2018/12/31 දක්වා සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත පෞද්ගලික ලේකම් අරුණ දහනායක විසින් ඊමේල් සහ ෆැක්ස් මඟින් එවන ලද පණිවුඩවල සඳහන් පුද්ගලයන් 1117 ක් නිවාස සංවර්ධන අධිකාරියේ සේවයට බඳවා ගැනීම මෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අවුරුදු 60 ට වැඩි සේවකයන් 33ක ගේ සේවය දීර්ඝ කරමින් වැටුප් හා දීමනා ගෙවීම ගැන ද චෝදනා කොට ඇත. මෙම චෝදනා ගැන අවසානයේ ජනාධිපති කොමිසමේ නිර්දේශය වී ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍ය පෞද්ගලික ලේකම් අරුණ දහනායක, සභාපති ලක්විජය සාගර පලන්සූරිය යන අය රුපියල් 641,870,135.64 ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට සැලැස්වීම හේතුවෙන් අල්ලස් පනත අනුව දූෂණය නමැති වරද සිදු වී ඇති බැවින් මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරීමය.

2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ “සැමට සෙවණ” නිවාස වැඩසටහනේ සමරු ඵලක සඳහා අධික වියදමක් දරමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ගැන සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වීමට පෙර විවෘත කිරීමේ ඵලකයන්ට වියදම් කොට ඇත්තේ රුපියල් 30,000/-ක් පමණක් බවය. නමුත් සජිත් ප්‍රේමදාස අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු විවෘත කිරීම් ඵලකයකට වියදම් කොට ඇති මුදල රුපියල් 237,480 කි. මීට අමතරව ගම්මානය සඳහා දිසා පුවරුව – රුපියල් 20,500 කුත් ගම්මානයේ ඔසු උයන නාම පුවරුව – රුපියල් 14,454 වැය කොට ඇති අතර එක විවෘත කිරීමකට නාම පුවරුවලට පමණක් රුපියල් 272,434ක් වැය කොට ඇත. සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍ය ධුරය හෙබ වූ 2016 න් පසු 2018.12.31 දක්වා සමරු ඵලක සඳහා සිදු කළ වියදම රුපියල් 44,966,244 කි. එමෙන්ම උත්සවයක් පැවැත්වීමේ වියදම රුපියල් ලක්ෂ 30 කි. ඇතැම් ඒවායේ වියදම රුපියල් ලක්ෂ 113කට අධික මුදලක් වන අතර එවැනි උත්සව 160 කට වැඩියෙන් මෙම කාලයේ පවත්වා ඇති අතර, සමරු ඵලක 200 ක් පමණ විවෘත කොට ඇති බව 2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සඳහන් කොට ඇත.

සජිත් නිවාස ඇමැති යුගයේ බරපතළ චෝදනාවක් වන්නේ අක්කර 151 ක ඉඩමක් මිලදී ගැනීමය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් අලෙවි කර තැන්පත් ගිණුමක තිබූ මුදල් රුපියල් 427,125,571.54ක් වැය කර පුද්ගලික ඉඩම් අක්කර 151 පර්චස් 15.83ක් මිලදී ගෙන ඇත. එම ඉඩම්වල සංවර්ධන කටයුතු සඳහා රුපියල් 3,649,820.25ක මුදලක් වැය කර මෙම ඉඩම් කොටස් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව විෂය භාර අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීම් ද, පුද්ගලිකව කරන ලද ඉල්ලීම් ලිපි ද පදනම් කරගෙන ඉඩම් බැහැර කිරීම සිදු කර ඇත. එම ඉඩම බෙදා දුන් 1762 දෙනා අතරෙන් 1410 දෙනකුට ඉඩම් කොටස් ලබා දෙන ලෙස ඉල්ලීමක් වත් කර නොතිබුණි. ප්‍රතිලාභීන් 94 දෙනකු සඳහා කිසිදු ලේඛනයක් නොමැතිව ඉඩම් කට්ටි ලබාදී තිබේ. ප්‍රතිලාභීන් 11 දෙනකු වෙත ඉඩම් කට්ටි ලබා දී තිබුණේ සජිත් ප්‍රේමදාසගේ ගම් මට්ටමේ දේශපාලන නියෝජිතයන් ලබා දුන් ලිපි පදනම් කරගෙනය. ඉඩම් කට්ටි ලබා දී තිබූ 29 දෙනකු විවිධ හේතු මත අදාළ ඉඩම් කට්ටි වෙනත් පුද්ගලයන් වෙත ආපසු ලබා දී තිබුණි.

සජිත් ප්‍රේමදාස නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙස මුලින්ම කළ කතාවේ කොටසක් මෙසේය.

“පාලකයන් වන අපේ යුතුකම හා වගකීම වන්නේ රටේ ඇති මුදල් සොරා කනු වෙනුවට, ඒවා පිල්ලි ගසා සුර සැප විඳිනු වෙනුවට පළාත් ගානේ සුඛෝපභෝගී මාලිගා ඉදිකරනු වෙනුවට, ඒ මුදල් දුප්පත් පොදු ජනතාවගේ යහපත පිණිස යොමු කිරීමයි. මා මේ කුහකයන්ට කියන්නේ මා සමෘද්ධි මුදල්වලින් කටවුට්, බැනර්, පෝස්ටර් ගසන්නේ නැති බවයි. දිවි නැගුම සම්මේලන පවත්වන්නේ නැති බවයි. මගේ පින්තූරය දමා ලිත්, දින දර්ශන ගසන්නේ ද නැති බවයි. අපේ පක්ෂයේ කොඩි දැමීමට, කොඩි කණු මිලදී ගන්නේ ද නැති බවයි. ඒ දේවල් සිදු වුණේ පසුගිය ජනවාරි 8 වැනිදාට කලිනුයි. එදාට පසු රටට උදා වූ නව පාලනය යටතේ අපට ලැබුණු පළමු උපදෙස නම් “නිර්මලව, පිරිසුදුව හා විනිවිදභාවයෙන් යුතුව රටේ ජනතාවට උපරිම සේවයක් ඉටු කරන්න” කියායි.

එදා එසේ කියා දහ අතේ දිවුරන ඇමැති සජිත්ට 2016 වසරේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ උත්සව කටයුතු සඳහා පුවත්පත් දැන්වීම් 2721 ක් පළ කිරීමට රුපියල් මිලියන 307.71ක මුදලක් වැය කොට තිබේ. එමෙන්ම සජිත් ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පත් කරන ලද ආදර්ශ ගම්මාන සඳහා පෝස්ටර් ආරාධනා පත්‍ර සහ සමරු කලාප මුද්‍රණය සඳහා රුපියල් මිලියන 84.97 මුදලක් වියදම් කර තිබේ. තවද අවිධිමත් හා අනවශ්‍ය ලෙස මුද්‍රණ කටයුතු කිරීම හේතුවෙන් භාවිතයට නොගත් පෝස්ටර් හා සමරු කලාප තොගයක් නිර්මාණය කිරීම හේතුවෙන් ආයතනයට කර ඇති මූල්‍යමය පාඩුව රුපියල් මිලියන 3.95කි.

මෙම දත්ත මත සජිත් ප්‍රේමදාස ඇමැති යුගයේ ආදර්ශ ගම්මාන 288 ක වූ නිවාස 7971 ක් විවෘත කිරීම සඳහා පුවත්පත් 2771 ක රුපියල් 307,712,556.38 ක් වියදම් දරමින් පුවත්පත් දැන්වීම් පළ කිරීම තුළින් එක් නි‌ෙවසක් ජනතා අයිතියට පත් කිරීම සඳහා රුපියල් 38,604/- අසාමාන්‍ය වියදමක් දරා තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඊටත් වඩා රුපියල් 84,969,907.00 වටිනා වියදමක් දරා කිසිදු ඵලදායිත්වයක් නොමැති පෝස්ටර් ආරාධනා පත්‍ර හා සමරු කලාප මුද්‍රණය කිරීම තුළින් ආයතනයේ අරමුදල් අවභාවිත කොට ඇති ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයෙන් බැහැරව කටයුතු කරමින් JSU ප්‍රින්ට් නමැති ආයතනය වෙතම මෙම මුද්‍රණ කටයුතු ලබා දීම සඳහා කටයුතු කිරීම විමසිය යුතු කරුණකි. අවධිමත් හා අනවශ්‍ය ලෙස මුද්‍රණ කටයුතු සිදු කිරීම හේතුවෙන් භාවිතයට නොගත් පෝස්ටර් හා සමරු කලාප තොගයක් නිර්මාණය කිරීමෙන් නිවාස අධිකාරිය රුපියල් 3,946,103.00 ක අලාභයක් සිදු වු බව ගණන් බලා තිබේ.

සජිත් නිවාස හා සමෘද්ධි ඇමති යුගයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව නොහොත් BMC එකේ සිදුවී ඇති අක්‍රමිකතා ගැන සඳහන් නොකළොත් අඩුපාඩුවකි.

2015 දී සජිත් කියා සිටියේ ඉංජිනේරු සංස්ථාවේ අලෙවි ප්‍රවර්ධකයන් ලෙස පත්වීම් ලබා දී දේශපාලන වැඩවලට යොදවා තිබු පුද්ගලයන් හතළිස් දෙකක් සේවය අත්හිටුවීමෙන් රුපියල් ලක්ෂ 144 ක මුදලක් සංස්ථාවට ඉතිරි වුණ බවකි.

එසේ කියු සජිත්ම 2015 ජනවාරි මස සිට 2019 .09.10 වන දින දක්වා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට බඳවා ගෙන ඇති මුළු සේවක සංඛ්‍යාව 307 කි. 2019.09.18 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/2019 අනුව, 2019.09.01 වන දින ස්ථීර කළ සේවකයන් සංඛ්‍යාව 116 කි. එහෙත් වත්මන් පාලනාධිකාරියේ මතය වන්නේ ආයතනයට සේවකයන් 80ක් පමණ ප්‍රමාණවත් වන බවයි. එමෙන්ම ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා එවක නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස සම්බන්ධීකරණ ලේකම් ලලිත් කෝකිල ඩී. කහපොලගේ ලිපියකට අනුව අම්බලන්තොට ව්‍යාපෘති ඒකකය මඟින් ලබා දුන් ණයෙන් කොටසක් නැවත අය කර නොගැනීම නිසා ගොඩනැගිලි සංස්ථාවට සිදුව ඇති පාඩුව රුපියල් 10,585,637.25කි.

සජිත් නිවාස ඇමති යුගයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට දැවැන්ත අලාභයක් කළේ නඩත්තු කළ නොහැකි ආදායමක් නැති ශාඛා අවිචාරවත්ව විවෘත කිරීමෙනි. මේ වකවානුව තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, වීරකැටිය, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර ශාඛා වසා දමා ඇත. ඒ සඳහා වියදම් වී ඇති මුදල රුපියල් රුපියල් 56,214,001.32 කි. මේ ලිපියේ අන්තර්ගත සියලු අක්‍රමිකතා ලිඛිත සාක්ෂි මත පෙළගස්වා ඇත. මේ අප ගවේෂණාත්මකව සොයා ගත් අක්‍රමිකතා සජිත් ප්‍රේමදාස නිවාස හා සමෘද්ධි අමැති වු කාලයේ සියලුම අක්‍රමිකතා නොවේ. තවත් බොහෝමයක් අක්‍රමිකතා අප සතුව ඇත්තේ ලිඛිත සාක්ෂි මතය.

2015 දී අමැති ධුරයේ වැඩ බාරගත් පසු සජිත් නමෝවිත්තියෙන් කළේ තමන්ට පෙර සිටි අමාත්‍යවරයාගේ අක්‍රමිකතා ගැන සෙවීමට පියවර ගැනීමය. ඒ ගැන එදා පුවත්පත් වාර්තා කොට තිබුණේ මෙසේය.

නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශවල හා ඒ යටතේ පැවැති ආයතනයන්හි ඉකුත් වකවානුවේදී සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා අපක්ෂපාති විගණනයක් සිදු කිරීමට නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය අමාත්‍යාංශ ලේකම්වරයාට හා එහි ප්‍රධාන ගණකාධිකාරීවරයා වෙත නියෝග කර තිබේ.

ඒ අනුව නිවාස අමාත්‍යාංශයට අයත් විගණන කටයුතු “අර්නස්ට් ඇන්ඩ් යං” සමාගම විසින්ද සමෘද්ධි අමාත්‍යාංශයට අයත් විගණන කටයුතු “ප්‍රයිස් වෝටර් හවුස් කුපර්ස්” සමාගම විසින් ද සිදු කරනු ලබයි. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පෞද්ගලිකව කරන ලද ඉල්ලීමකට අනුව මෙම ජාත්‍යන්තර විගණන ආයතන ඉදිරිපත්වී ඇති අතර එම කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කිරීමට නියමිතය.

නිවාස අමාත්‍යාංශය, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කාර්මාන්ත ශාලාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, ඕෂන් වීව් සංවර්ධන ආයතනය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන ආයතනය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන ඉදිකිරීම් නීතිගත සංස්ථාව හා ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනය, නිවාස අමාත්‍යාංශය යටතේ විගණනයට ලක් වන ආයතන වේ. සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුව, උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, දිවි නැගුම යටතේ පැවැති ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරිය විගණනයට ලක් කෙරෙන සමෘද්ධි අමාත්‍යාංශ යටතේ ඇති ආයතන වේ.

දැන් ආණ්ඩුවට ගත හැකි පාරදෘශ්‍ය‍භාවයෙන් යුතු පියවර වන්නේ සජිත් ඇමැති කළා වගේම අර්නස්ට් අන්ඩ් යං කොම්පැණියත්, ප්‍රයිස් වෝටර් හවුස් කුපර්ස් කොම්පැණියත් ලවා අප මේ ගවේෂණාත්මක ලිඛිත සාක්ෂි මත කරන හෙළිදරව්ව සත්‍ය දැයි අපක්ෂපාතී විගණනයක් සිදු කිරීමය.

The post සජිත් කිය­න­කොට එහෙ­මයි කරන කොට මෙහෙ­මයි – හොරු අල්ලන්න කෑමොරදෙන සජිත්ගේ සුපිරි හොරකම් මෙන්න.. appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka