ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරනු ලැබ තිබේ. මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (සැප්. 27) මීට අදාළ පත්වීම් ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලබා දෙන ලදී.
1969 වසරේ පෙබරවාරි මස 9 වන දා දොඩංගොඩ ප්‍රදේශයේදී ඔහු උපත ලැබීය. ප්‍රියන්ත වීරසූරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරා ඇති අතර 1999 වසරේ නීති විද්‍යාලයට ඇතුළත් වී තිබේ. එමෙන් ම, මානව සම්පත් කළමණාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ද ලබා ගෙන ඇත.
ප්‍රියන්ත වීරසූරිය 1988දී කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක් වී තිබේ. 1999 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස උසස්වීම් ලැබූ ඔහු පොලිස් අපරාධ හා රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස හා පොලිස් සැපයුම් අධ්යක්ෂවරයා ලෙස ද සේවය කොට තිබේ.
තව ද, ඔහු නැගෙනහිර ටිමෝරය සහ හයිටි රාජ්‍යයේ ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා එක්ව සිට ඇති අතර ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරියේ නිරත වී තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ වසර තිස් හයක නිකැලැල් සේවයක් සපුරා ඇති ප්‍රියන්ත වීරසූරියට සේවය ඇගයීම සදහා පොලිස්පතිවරුන් දස දෙනෙකු ම ප්‍රශංසා ලිපි නිකුත් කොට තිබීම සුවිශේෂී කරුණකි.
වසර 158ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයට එක්වී පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලද එක ම නිලධාරියා ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වේ.
මීට පෙර පොලිස්පති ධූරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 24 අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි.
ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් 9 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී තිබිණි.
The post වැඩබලන පොලිස්පති ලෙස පත්වූ ප්‍රියන්ත වීරසූරිය යනු කවුද? appeared first on ColomboXnews.
Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka