“අන්තිම දවස් දෙකේ කිසි ම ගැටුමකට ගෑවෙන්න එපා” – අනුර කුමාර දිසානායක

ඡන්දයට දින දෙකක් තබා වුවද පරාජයෙන් වියරු වැටී සිටින කණ්ඩායම් රටේ අනපේක්ෂිත හදිසි සිදුවීම් මතු කිරීමට ඉඩ ඇති නමුත් එවැනි පන්නයේ කිසිදු ගැටුමකට ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සම්බන්ධ නොවන ලෙස දැනුම් දී ඇතැයි එහි ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.

යම් අනපේක්ෂිත සිදුවීම් සිදු විය හැකි බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය දින කිහිපය තුළ ප්‍රකාශ කළ බව ත් ඊට පසුදින විශ්වවිද්‍යාල සිසුන් අතර යම් ගැටුමක් උද්ගත වූ බව ත් දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, ඉදිරියේ එන්නේ මාලිමාවට එරෙහිව දැවැන්ත අසත්‍ය ප්‍රචාර එල්ල කිරීමට නියමිත තීරණාත්මක දින 2ක් බැවින් පොදු ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක කීය.

කිසියම් තැනක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව කළ යුත්තේ ආරක්ෂක අංශ දැනුවත් කිරීම බව ද ඔහු සඳහන් කළේ ය.

මැතිවරණ කාලසීමාවට පමණක් සීමා නොවී රටේ සාමකාමීත්වය සිය රජයක් යටතේ තහවුරු කරන බවට වූ පොරොන්දුව ඒ අයුරින් ම ඉටු කරන බව ද ඔහු පැවසීය.

පළමු වරට රටේ මහජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් දේශපාලකයාගේ භූමිකාව මහ ජනයාගේ කර මත පටවා ගෙන ජනතාව නව ආණ්ඩුවක් ගොඩනැගීමට පෙළ ගැසී සිටින මේ මොහොතේ මෙම විශාල රැල්ලට විරුද්ධව විවිධ මඩ ප්‍රහාර මේ දින දෙක තුළ එල්ල කිරීමට නියමිත බව විවිධ වාර්තා මගින් දැනගන්නට ලැබී ඇතැයි ද ඔහු කීය.

එම නිසා පරාජිතයාගේ වියරුව පිළිබඳ අවබෝධ කොට ගෙන අනවශ්‍ය ගැටුම් හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට කිසිසේත් ම හවුල් නොවී සාමකාමීව 21 දින තම ඡන්දපොළට ගොස් ඡන්දය භාවිත කරන ලෙස සියලු දෙනාගෙන් තමා වැඩිදුරට ත් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

The post “අන්තිම දවස් දෙකේ කිසි ම ගැටුමකට ගෑවෙන්න එපා” – අනුර කුමාර දිසානායක appeared first on ColomboXnews.

Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka