LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය

ශ‍්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය ප‍්‍රදානය කරන ලදි.

පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් සිදුකළ ගනුදෙනු ප‍්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු ප‍්‍රමාණයකට පහසුකම් සැපයීම සහ ටෙලර් යන්ත‍්‍ර ජාලය කි‍්‍රයාවිරහිත වූ කාලය අඩුම අගයකට පවත්වා ගැනීම ඇතුළු කරුණු බැංකුවට මෙම රන් සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට බඳුන් කර තිබේ. කොමර්ෂල් බැංකුවේ සමස්ත ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය මගින් ලංකාපේ කාඞ්පත් පිළිගන්නා අතර මෙම ජාලය පොදු ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතියටද (CAS) සම්බන්ධ කර ඇත.

මීට අමතරව, මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුව විසින් රිදී සම්මාන තුනක් සහ කුසලතා සම්මානයක්ද දිනා ගන්නා ලදි.

EMV (Europay, Mastercard and Visa) ඒකාබද්ධ තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු අත්පත් කරගැනීම සහ සැකසීම සඳහා සිය සමස්ත ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය යොමුකළ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර ලංකාපේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය ඔස්සේ ඉතාමත් සුරක්ෂිතව ගනුදෙනු කිරීමට EMV ගනුදෙනු සිය කාඞ්පත් පදනමට හඳුන්වාදුන් පළමු බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. මේ තුළින් ලංකාපේ ජාලයේ තිබෙන අනිකුත් බැංකුවල ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ ඉතාමත් සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් පත් හිමියන්ට ලැබී ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 

සේයාරු සටහන –  කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා (මැද) සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (දකුණේ සිට දෙවැන්නා) ‘Best Common ATM Enabler of the Year’ වෙනුවෙන් හිමිවූ රන් සම්මානය පිළිගත් ආකාරය. මෙම අවස්ථාවට (වමේ සිට) BPC බැංකුකරණ තාක්ෂණ නේවාසික කළමනාකරු, සුභාෂ් චන්ද්‍ර බොසේ මහතා, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති, ආර්.ඒ.ඒ. ජයලත් මහතා සහ  ලංකා ක්ලියර් ආයතනයේ සාමාන්‍යාධිකාරී සහ ප‍්‍රධාන විධායක නිළධාරී, චන්න ද සිල්වා මහතා සහභාගී විය.

The post LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Bizweb2 Bizweb2
#SriLanka #News #lka