Green Hydrogen ගැන කැබිනට් මණ්ඩලය උනන්දු වෙයි

හරිත හයිඩ්‍රජන්වල (Green Hydrogen) අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත ගැඹුරු මුහුද හරහා බලශක්තිය ප්‍රවාහනය කිරීම සඳහා සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පරිසර හිතකාමී විකල්පයක් ලෙස හඳුනාගෙන ඇත.

බලශක්ති ප්‍රවාහනය සඳහා යොදාගත හැකි වාණිජ හරිත ඇමෝනියා සඳහා වන ඉල්ලුම ගෝලීය වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතී. එම ඉල්ලුම 2030 වන විට ටොන් බිලියන ගණනක් දක්වා ඉහළ යනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ.

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සම්පත්වලින් බහුල වීම සහ නැගෙනහිර-බටහිර නාවික මාර්ගයට ආසන්නයේ පිහිටීම වැනි සුවිශේෂ භූගෝලීය වාසි හේතුවෙන් හරිත බලශක්ති නිෂ්පාදකයෙක්, අපනයනකරුවෙක් සහ කලාපීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථාපනය වීම සඳහා වැඩි අවස්ථාවක් පවතී.

ඒ අනුව, හරිත හයිඩ්‍රජන්/ඇමෝනියා නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන පුද්ගලික අංශයේ ආයෝජන යෝජනා ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

The post Green Hydrogen ගැන කැබිනට් මණ්ඩලය උනන්දු වෙයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka