2020 දෙවන කාර්තුවේ දී ආර්ථිකය 16.3% කින් පහළට. තෙවන කාර්තුවේ 1.5% ක වර්ධනයක්. මුල් මාස 09 දී ආර්ථිකයේ සමස්ත පරිහානිය 5.3% ක්

2020 දෙවන කාර්තුවේ ස්ථාවර මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කර ඇති අතර එය 2019 දෙවන කාර්තුවේ වාර්තා වූ සියයට 1.1 ධන වර්ධනය හා සසඳන විට මෙතෙක් වාර්තා නොවූ ලෙස සියයට 16.3 කින් පහත වැටී ඇත. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම පහත වැටීමයි.

2020 දෙවන කාර්තුවේ දී ඉතා සුළු රටවල් සංඛ්‍යාවක හැර (උදා – චීනය හා වියට්නාමය) මුළු ලෝකයේම බොහෝමයක් ආර්ථිකයන් හි (උදා – මාලදිවයින, ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව ආදී..) විශාල පසුබැසීම් වාර්තා වී ඇත.

මෙම කාර්තුව පිළිබඳව සලකා බලන විට, මාර්තු 19 සිට අප්‍රේල් 20 දක්වා කාලය තුළ මුළු රටම සම්පූර්ණයෙන් වසා දමා තිබුණි. ඉන් පසුව දිස්ත්‍රික්ක වෙත පැනවූ ඇඳිරි නීතිය ක්‍රමයෙන් ඉවත් කරන ලදී. කෙසේ වෙතත් මැයි 26 වන දින දක්වා ප්‍රධාන කාර්මික කලාප සහ ව්‍යාපාරික ස්ථාන වැඩි ප්‍රමාණයක් පිහිටා ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක දෙක සඳහා (කොළඹ සහ ගම්පහ) පැන වූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක විය. කොවිඩ්-19 රෝගය ප්‍රජාව අතර පැතිරීම පාලනය කිරීම සඳහා රජය මඟින් මෙම ඇඳිරි නීතිය පැනවූ අතර එමඟින් රජය සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නා ලදී.

මේ අතර 2020 වර්ෂයේ තුන්වන කාර්තුව තුළ දී කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ලෙන් පසුව ව්‍යාපාරික ක්‍රියාකාරකම් නව සාමන්‍යකරණය වීමත් සමඟම ජනතාවගේ එදිනෙදා ජීවන රටාව යථා තත්ත්වයට පත්විය. මෙම වාසිදායක තත්ත්වය විශේෂයෙන් තුන්වන කාර්තුවේ දී ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපා ඇති අතර මෙම තත්ත්වය 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රථම වතාවට සියයට 1.5 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමට හේතු වී තිබේ.

මෙම වසරේ පළමු හා දෙවන කාර්තුවල ආර්ථිකයේ හැකිලීමෙන් පසු මෙම වාර්තාගත ධනාත්මක වර්ධන වේගය පිළිබිඹු කරනු ලබන අතර, ඒ අනුව සමස්තයක් ලෙස කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත, තොග හා සිල්ලර වෙළෙඳාම, භාණ්ඩ හා මගී ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ සේවය, මූල්‍ය හා රක්ෂණ සේවා, දේපළ වෙළෙඳාම්, වෘත්තීය සේවා සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ඇතුළු බොහෝ සේවා ක්‍රියාකාරකම් 2019 වසරේ තුන්වන කාර්තුව සමඟ සසඳන විට 2020 තෙවන කාර්තුවේ ධනාත්මක වර්ධන අනුපාත වාර්තා කර ඇත.

සමස්තයක් ලෙස ගත් කළ 2020 වසරේ මුල් මාස නවයෙහි දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය – 5.3% (සෘණ සියයට 5.3) ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇත. 2020 පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය -1.6% ක් විය.

The post 2020 දෙවන කාර්තුවේ දී ආර්ථිකය 16.3% කින් පහළට. තෙවන කාර්තුවේ 1.5% ක වර්ධනයක්. මුල් මාස 09 දී ආර්ථිකයේ සමස්ත පරිහානිය 5.3% ක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka