ලක්ෂ 10කට රැකියා නැතිවෙනවා. ඒ අයට රුපියල් දහදාහක්වත් දෙන්න බලනවා – එජාප නායක රනිල්

පවතින තත්ත්වය තුළ තම ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවේ දශලක්ෂයක පිරිසකට රැකියා අහිමි වන බවත්, ඔවුන් වෙනුවෙන් රුපියල් දසදහසක දීමනාවක් හෝ ලබාදීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‘දෙරණ 360‘ හා එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් එජාප නායකයා කියා සිටියේ ඒ වෙනුවෙන් වැයවන රු. බිලියන 180 ක මුදල සොයාගත හැකි බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙරණ 360 සමඟ එක්වෙමින් වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“අපිට මේ අවුරුදුවල අපේ ආදායම නැතිවෙලා තිබෙනවා කොරෝනා නිසා.  කොරෝනා නිසා සංචාරක ව්‍යාපාරය නැතිවෙලා, අපේ විතරක් නෙමෙයි ලෝකේ වටේම. මෙහාට එන එකක් නැහැ, මේ අවුරුද්දෙම. මේ කාලේ මම ඉන්න කොට හෝටලේක, සමහර විට මම විතරයි ඉන්නේ. වෙන කවුරුවත් නැහැ. ඒ ගොල්ලෝ කියන්නෙත් ඒකයි, සති අන්තේ ලාංකිකයෝ එනවා. ඇඟළුම් කර්මාන්තය කඩා වැටිලා. සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නේ. අපේම ඇඟළුම් අලෙවි කරන සමාගම් කරදරේ. වික්ටෝරියාස් ස්ක්‍රට්, ගැප්, ඒ හැම එක්කෙනාටම ප්‍රශ්න තියෙනවා. වික්ටෝරියාස් සීක්‍රට් එකේ එංගලන්තේ ශාඛා ටික බංකොලොත් වුණා. අනෙක, කොරෝනා ඉවර වුණා කියලා මිනිසුන් එක සැරේම ඇඳුම් මිලට ගන්න යන්නේ නැහැ. අවුරුද්දක් විතර එතනින් ඉතිරි කිරීමක් වෙනවා. අනෙක් නිෂ්පාදන අංශවලටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. සමහර ඒවා ඉදිරියට යනවා. තේ යනවා, රබර් ටයර් වැටිලා තියෙනවා. රබර් ග්ලවුස් අද යනවා සෞඛ්‍ය හේතූන් නිසා. ඉතිං මේ යන විදියට අපිට මේ අවුරුද්දේ අපේ විදේශ විනිමය වැටිලා තියෙන්නේ. අප්‍රේල් මාසේ සමහරක් ඕඩර්ස් යන්න බැරි වුණා. ඒවා මැයි මාසේ ගියා. අප්‍රේල් මාසේ ඕඩර්ස්, බ්ලොක් වෙලා තිබුණු ඒවායේ මුදල් එව්වා. ඊට පස්සේ මුකුත් එන්නේ නැහැ.“

“අනෙක් අතට අපේ තෙල් මිල අඩුවුණා. තෙල් මිල අඩුවීමේ වාසිය දෙන්න ඕනේ ජනතාවට. කිසිම වාසියක් දීලා නැහැ. මේක සිදුවෙලා තියෙන්නේ කොරා්නා නිසා නෙමෙයි. ඇයි රජයේ සමස්ත ආදායම වැටුණේ. මොකද, නොවැම්බර් මාසේ අර බදු ක්‍රමය ඔක්කොම වෙනස් කළා. අපේ යෝජනාව තියෙන්නේ බිලියන 6ක් අරගෙන එතන ඉඳන් පටන් ගන්න. ඉස්සෙල්ලා තියෙන ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඇත්තවශයෙන්ම අපි ඇඟළුම් කර්මාන්ත ශාලා ඔක්කොම අරින්නේ නැහැ. රැකියා නැතිවෙන කාන්තාවන්ට මොකක් හරි වන්දියක් දෙන්න ඕනේ ගෙදර ඉන්නවානම්. නැත්තන් වෙන රැකියාවක් හොයන්න තියෙනවා. සංචාරක ව්‍යාපාරය 2021 පටන්ගෙන 2022ට යන්න පුළුවන්. ස්පාඤ්ඤයේ සංචාරක ව්‍යාපාරය පටන්ගත්තත් කොරෝනා ආපහු ඇවිල්ලා එකසැරේම වැහුණා. මුදල් තියාගෙන, තියෙන අංශවලට ආධාර දීලා, දෙවනුව අපට අනාගතයේ දී යන්න පුළුවන් තැන්වලට පුහුණු කරමු.“

“කෘෂිකර්මයට නවීකරණයක් ඇති කරලා, මධ්‍යම කාලයට බලමු ඉන්දියන් සාගරයේ රටවලට ආහාර සපයලා දෙන්න. අපි හාල්වලින් ස්වයංපෝෂිතයි. බිත්තරවලින් ස්වයංපෝෂිතයි. මස්වලින් ස්වයංපෝෂිතයි. මාළුවලින් ස්වයංපෝෂිතයි. එළවළුවලින් ස්වයංපෝෂිතයි. පළතුරුවලින් ස්වයංපෝෂිතයි. අපිට ඕනේ නම් මිරිස් ළූණු එහෙම කරන්න. මේක වැඩිවුණොත්, ඔබතුමිය දවසකට වැඩිපුර බිත්තරයක් කනවාද? නැහැනේ, එතකොට වැඩිපුර බිත්තර තියෙනවා මාර්කට් එකේ. දැන් ස්වයංපෝෂිත වෙලා වැඩක් නැහැ. දැන් එතන තියෙනවා සැපයීමේ ප්‍රශ්න. සැපයුම් ජාලාවල් සම්පූර්ණයෙන්ම කඩලා, එක එක මාෆියාවල් ඉන්නවා. සැපයුම් ජාලාවන් අපි ශක්තිමත් කරන්න ඕනේ. ලෝකේ මිලියන 50කට රැකියා නැතිවෙනවා ටුවරිසම්වලින්. අපි හිතන්නේ ලංකාවේ අපේ ඇස්තමේන්තුව අනුව ලක්ෂ 10කට රැකියා නැතිවෙනවා. අපි බැලුවා ඒ නිසා ඒ අයට අඩු ගාණේ රුපියල් දහදාහක්වත් දෙන්න. ඒකට බිලියන 180 යි. බිලියන 180ක් හොයන්න පුළුවන්.“

The post ලක්ෂ 10කට රැකියා නැතිවෙනවා. ඒ අයට රුපියල් දහදාහක්වත් දෙන්න බලනවා – එජාප නායක රනිල් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka