ශ්‍රී ලංකා රේගු නිලධාරීන් මේ බව පැවසුවේ රාජ්‍ය ආදායම වැඩිකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදියහැකි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජුනි 08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ මේ වසරේ අයවැයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ලෙස රුපියල් බිලියන 1226ක් බලාපෙරොත්තු වන බවත් මෙම මාස 5 තුළ තවමත් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 330 පමණක් බවත්ය. මේ නිසා මෙම අයවැයෙන් බලාපොරොත්තු වන ආදායමට ලගාවීමේ ගැටලුවක් පවතින බවයි.
මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ වාහන ආනයනය ඇතුළු ආනයන සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ලගා විය නොහැකි බවයි. මේ තත්ත්වය යටතේ මෙම වසර තුළ ලබාගතහැකි ආදායම ලෙස ඔවුන් පුරෝකථනය කරනනේ රුපියල් බිලියන 783 ක් බවයි. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයද දැනුවත් කොට ඇති බව එම නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
එසේම රේගුවෙට ලැබෙන ආදායමෙන් 20% ක් පමණ ලැබෙන්නේ වාහන ආනයනයේදී පනවන බදු නිසාවෙන් බවත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඇති සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ලගාවිය නොහැකි බවත් ඔවුහු දත්ත සහිතව පෙන්වා දුන්හ. එසේම 2014 වර්ෂයේ සිට 2022 කාලසීමාව ආශ්‍රිතව වැඩිම බදු ආදායම් ලබාගෙන ඇත්තේ 2018 වර්ෂයේදී බවත් එම බදු මුදල රුපියල් බිලියන 923ක් බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව මෙම ආදායමෙන් රුපියල් බිලියන 194ක් ලැබී ඇත්තේ වාහන ආනයනයේදී පනවා ඇති බදු වලින් බවද මෙහිදී සඳහන් විය. මේ නිසා වසර 3 පමණ කාලසීමාවක සිට වාහන ආනයනය සීමාවී ඇති බැවින් රේගුවේ ආදායම අඩු වී ඇති බවත් මේ මස සිට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 6 ඇතුළත රුපියල් බිලියන 150ක් වාහන ආනයනයේදී බදු ලෙස ලබාගත හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.
මේ නිසා ණය අදාර ක්‍රමයක් යටතේ (Credit line) වෙනත් රටක් සමග සම්බන්ධවී වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳවත් එය මෙරට පවතින විදේශ මුදල් විදෙස්ගත නොවී රේගු ආදායම වැඩි කරගැනීමට හොදම ක්‍රමය බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම රේගුවේ යෝජනා ඉටු වුවහොත් රුපියල් බිලියන 1100 පමණ ආදායමකට ලගාවිය හැකි බවද මෙහිදී නිලධාරීන් සදහන් කළේය.
මේ අනුව කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බැවින් වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.
The post වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් කඩිනම් තීරණයක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.
Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka