ප්‍රතිලාභ රැසක් සමඟ තිරසාර මාවතක් වෙත ශ්‍රී ලංකාව රැගෙන යන පුනර්ජනනීය බලශක්තිය

තිරසාර බලශක්ති ක්ෂේත්‍රයක් ශ්‍රී ලංකාව තුළ   ගොඩනැගීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය දැල් වී ඇති අතර  එහිදී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම කාලීන මෙන්ම අත්‍යවශ්‍ය පියවරක් බවට පත් වී ඇත.  පසුගිය සැප්තැම්බර් මාසයේදී   ලෝක බැංකුවේ දූත පිරිසකගේ සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් සිදුකළ සාකච්ඡාව මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කරන වැදගත් සංධිස්ථානයක් විය. එහිදී දේශීය බලශක්ති මූලාශ්‍රයන් නව මාවතක් ඔස්සේ ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය ලබාගැනීම පිළිබඳව අවධාරණය කෙරුණු අතර එය නිසැක වශයෙන්ම මෙරට බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථික වර්ධනයට ද සුබවාදී අපේක්ෂාවක් වනු ඇත.

අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම සමාගම වන ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මෙම  පුනර්ජනනීය බලශක්ති සංග්‍රාමයෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. බලශක්ති ක්ෂේත්‍රයේ  ඇති තීරණාත්මක ස්වභාවය අනුව ලංකා විදුලිබල මණ්ඩලයට  විශ්වාසදායක ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ අවශ්‍යතාවය මතුව තිබේ. ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දුනීසියාව සහ අප්‍රිකාව දක්වා ලොව පුරා මහා පරිමාණ ව්‍යාපෘති සංවර්ධනය කරමින් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සුළං බලශක්ති උත්පාදන කටයුතුවල නිරතව සිටින අතර ඔවුන් මේ සඳහා වඩාත් යෝග්‍ය වනු ඇත.  එනම්, ඔවුන් සතු ගිවිසුම්ගත බැඳීම් , මූල්‍ය ස්ථාවරත්වය සහ තිරසාරභාවය සඳහා කැපවීම ආදී සුවිශේෂීතාවයන් තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය නියෝජනය කිරීම සඳහා ඔවුන්ට ඇති සුදුසුකම් මැනවින් පසක් වන බැවිනි.

ශ්‍රී ලංකාව 2050 වන විට පූර්ණ වශයෙන්ම  පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක  වීමේ  දිගුකාලීන දැක්මක් සඳහා පූර්ව පියවරක් ලෙස 2030 වසර වන විට ගෘහස්ථ විදුලි අවශ්‍යතාවයන්ගෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට බලාපොරොත්තු වේ. අදානි ග්‍රීන් එනර්ජි වැනි ප්‍රමුඛ පෙළේ ආයතන මෙරට  ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය සඳහා ඩොලර් බිලියන ගණනක මහා පරිමාණ ආයෝජනයන් සිදු කර ඇති අතර 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති අංශයේ  ඩොලර් බිලියන 25ක සුවිශාල ආයෝජනයක් සිදුකිරීමටද  සමාගම් දැනටමත් පිඹුරුපත් සකසා ඇත.

අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ස්වාධීන බලශක්ති නිෂ්පාදනය තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය වෙත වාසි රැසක් පිරිනමයි. ඒ අතරින් වඩාත් වැදගත් ප්‍රතිලාභ ලෙස පිරිවැය 30% ක්  අඩු කිරීමේ හැකියාව සහ ඒකක පිරිවැය ඩොලර් 0.10 ට වඩා අඩු වීම සඳහන් කළ හැකිය.  මීට අමතරව රටේ විදුලිබල පද්ධතියේ  ස්ථාවරත්වය  ඉහල නැංවීම , විදුලිබල පද්ධතියට වඩාත් පිරිසිදු බලශක්ති ක්‍රමවේදයන්  ඒකාබද්ධ කිරීම තුළින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ ගෝලීය ප්‍රයත්නයන්ට ද දායකත්වය ලබාදීම මෙන්ම වාර්ෂික කාබන් විමෝචනය අවම කරමින් රටේ පාරිසරික තත්ත්වයට ද යහපත් මෙහෙවරක් ඉටු කිරීම වැනි ප්‍රතිලාභයන් රැසක් මේ තුළින් පිරිනමයි. මෙම ප්‍රතිලාභයන්  මූල්‍ය ගැටළු රාශියක්  විසඳා ගැනීමට මෙන්ම සහනදායි ලෙස පාරිභෝගික විදුලි අවශ්‍යතාවයන් සපුරාලීමටද උපයෝගි වේ.

පාරිසරික තිරසාරභාවය ද වර්ධනය කරමින් සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා වන අගනා පියවරක් ලෙස මෙන්ම  මෙරට පාරිභෝගික ජනතාව වෙත අඩු පිරිවැයකින් තම බලශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීමටත් , පිරිසිදු බලශක්ති ප්‍රභවයන් පරිභෝජනය කිරීමටත්   අවස්ථාව උදාකරන ව්‍යාපෘතියක් ලෙස ද මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැදැගත්  වේ.  දැවැන්ත විදේශ ආයෝජනයන් මෙරට වෙත ආකර්ෂණය කරමින් රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ඇති කරන මාවතක් ද මේ ඔස්සේ විවර වන අතර  මෙය නිසැකවම රටේ  බලශක්ති ඉලක්ක සාක්ෂාත් කරමින්  මෙරට බලශක්ති ක්ෂේත්‍රය තිරිසාරභාවය කරා රැගෙන යන පියවරක් ද වනු ඇත.

The post ප්‍රතිලාභ රැසක් සමඟ තිරසාර මාවතක් වෙත ශ්‍රී ලංකාව රැගෙන යන පුනර්ජනනීය බලශක්තිය appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka