ඩොලර් පන්ලක්ෂයකට වඩා ගෙනෙන විදෙස් ආයෝජකයින්ට වසර 10 ක වීසා

වසර 5 ක් හෝ 10 ක් දක්වා දීර්ඝ කාලීන වීසාවක් ලබා දීමේ දී එක් එක් ආයෝජකයින් විසින් රට තුළට ගෙන එන ලබනු ආයෝජන ප්‍රමාණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත්වන බවත් ඒ අනුව දැනට යෝජනා වී තිබෙන පරිදි ඇමරිකන් ඩොලර් ලක්ෂ 3 ක් ගෙන එනු ලබන ආයෝජකයින් සඳහා වසර 5 ක වාස වීසාවක් ද ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ඉක්මවා ගෙන එනු ලබන ආයෝජකයින්ට වසර 10 ක වාස වීසාවක් ලබා දීමට කටයුතු කරනු ලබන බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. අද (10) දින පාර්ලිමේන්තුවේ දී ආගමික හ විගාමික සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා,

“රජයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශී්‍ය සහ විදේශීය ආයෝජකයන් ප්‍රවර්ධනය කිරීම හා ඊට සමගාමීව ශ්‍රී ලංකාව ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම මූලික අපේක්ෂාව වෙනවා මේ සංශෝධනයන් ඉදිරිපත් කිරීම. ඒ අනුව පවත්නා වීසා ක්‍රමවේදය ක්‍රමවත් කිරීම හා යාවත්කාලීන කිරීම මගින් ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව වර්තමානයේ පවතින වීසා වර්ග හා අයතරන ගාස්තු සංශෝධනය කිරීම සඳහා 2018.01.09 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මූලික අනුමැතිය අපි ලබා ගත්තා. ඒ අතර විද්වත් කමිටුවක් පත් කර ඒ මගින් සිදුකරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙම ක්‍රියාවලිය ආරම්භ කළේ.“

“ඒ අනුව වීසා පත්‍රයක කාලසීමාව වැඩිකිරීම මගින් විදේශ ආයෝජකයන් දිරිගැන්වීම අරමුණ වෙනවා. දීර්ඝ කාලීන වීසා බලපත්‍රයක් ලබා දීම මගින් ආයෝජකයන් සඳහා ව්‍යාපාරයන් හි ආයෝජනයන් කිරීමට, වඩා සුරක්ෂිත වාතාවරණයක් සලසන අතර ආයෝජනවල වටිනාකම අනුව ඒවායේ දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදා කරනවා.  තවද විදේශ ශිෂ්‍යයින් සඳහා අධ්‍යයන කාලසීමාව සලකා බලා වාස වීසා ලබා දීමට හැකියාව ලැබෙනවා. එමගින් ද විදේශ විනිමය ගලාඒම වැඩිවේ යැයි අපි අපේක්ෂා කරනවා.  තවත් විශේෂ අරමුණක් වන්නේ ශ්‍රී ලංකා පුරවැසියෙකු විවාහ වී සිටින විදේශීය කලත්‍රයා සඳහා වසර 5 ක අඛණ්ඩ විවාහ ජීවිතයක් තහවුරු කිරීමේ පදනම මත වසර 5 ක කලත්‍ර වීසා ලබා දීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම එම විදේශීය කලත්‍රයාගේ අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද උක්ත වීසාවම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. පුරවැසි පනත අනුව ද්විත්ව පුරවැසිභවෙය ප්‍රදානය කිරීම සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති, දැනටමත් විදේශීය රටක පුරවැසිභාවය ලබා ඇති ශ්‍රී ලාංකිකයන්ව සිටි පුද්ගලයින් හට ස්ථිර වාස වීසා  Permanent resident visa ලබා දීම මගින් ශ්‍රී ලාංකික පුරවැසියන්ව සිටි අයගේ දැනුම හා සක්‍රීය දායකත්වය රටේ සංවර්ධනයට ලබා ගැනීම තවත් අරමුණක් කර ගන්නවා.“

“වසර 5 ක් හෝ 10 ක් දක්වා දීර්ඝ කාලීන වීසාවක් ලබා දීමේ දී එක් එක් ආයෝජකයින් විසින් රට තුළට ගෙන එන ලබනු ආයෝජන ප්‍රමාණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මෙහිදී දැනට යෝජනා වී තිබෙන්නේ ඇමරිකන් ඩොලර් ලක්ෂ 3 ක් ගෙන එනු ලබන ආයෝජකයින් සඳහා වසර 5 ක වාස වීසාවක් ද ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ඉක්මවා ගෙන එනු ලබන ආයෝජකයින්ට වසර 10 ක වාස වීසාවක් ලබා දීම. කෙසේ නමුත් මේ සඳහා අදාළ නිර්ණායක අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කර සකස් කර ඉදිරියේ දී නිකුත් කරනු ලබනවා. මෙම යෝජිත වීසාවන් දීර්ඝ කාලීන වීසාවන් වන බැවින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන අතරතුරදී සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම දීර්ඝ කාලීන වීසා ලබා දීමේ දී අදාළ ආරක්ෂක නිෂ්කාෂණ ලබාදීමටත් ඒ පිළිබඳව පසුවිපරම් කිරීමටත් විධිමත් වැඩපිළිවෙලක් මේ වන විටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අදාළ අනෙකුත් ආයතන හා එක්ව සකස් කරමින් පවතිනවා.“

“මෙම සංශෝධන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය විදේශ ආයෝජකයින් ලබාගැනීම හා ඒ තුළින් නව රැකියා උත්පාදනය වීම, නව තාක්ෂණය ලැබීම, ලෝක ප්‍රවණතා හඳුනාගෙන ඒ අනුව දේශීය ව්‍යාපාරිකයන් කටයුතු කිරීම සඳහා තරඟකාරීත්වයක් රට තුළ ඇති වීම ආදී සමාජ ආර්ථික ප්‍රතිලාභ ලැබීම තුළින් රටේ සංවර්ධන කාර්යය සඳහා මහඟු සහායක් ලැබෙන ඇතැයි විශ්වාස කරනවා.“

 

 

 

 

The post ඩොලර් පන්ලක්ෂයකට වඩා ගෙනෙන විදෙස් ආයෝජකයින්ට වසර 10 ක වීසා appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka