ගෝලීය ආධ්‍යාත්මික නායක ‘ගුරුදේව්’ ඇතුළු පිරිස මෙරට සංචාරයට ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගනී

ආධ්‍යාත්මික නායක සහ ‘Art of Living’ පදනමේ නිර්මාතෘ ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවී ශංකර්තුමන් සහ ඔහුගේ  බැතිමතුන් 160 දෙනෙක් සිය ශ්‍රී ලංකා සංචාරය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගත්හ. ලාභ අරමුණු කර නොගත් ලොව විශාලතම ස්වේච්ඡා සංවිධානයක් වන Art of Living පදනම කලක පටන් ශ්‍රී ලංකාවේ සමාජය ආතතියෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර, නිරෝගී හා තෘප්තිමත් සමාජයක් බවට පත් කිරීම සඳහා කැප වී සිටී.

මෙම පිරිස 2024 මැයි 18 වන දින ඉන්දියාවේ බැංගලෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට UL 172 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. එහිදී ඔවුන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය කටයුතු කළ අතර, ඔවුන්ගේ රුචිකත්වය අනුව මස්මාංශවලින් තොර ආහාරපාන ලබාදීමද සිදුකරන ලදි. මෙම සමස්ත සංචාරය කළමනාකරණය කරනු ලබන්නේ Art of Living පදනමේ සංචාරක ආයතනය වන ‘Sumeru Travels’ මගිනි.

ඉදිරියටත් කර්ණාටක ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර විශේෂ කණ්ඩායම් සංචාර සඳහා ඉහළම තලයේ පහසුකම් සැලසීමටත්, ඒ සඳහා දිගින් දිගටම Sumeru Travels ආයතනය සමග සමීපව කටයුතු කිරීමටත් ශ්‍රීලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි.

ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවී ශංකර්තුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සංස්කෘතික හා ආධ්‍යාත්මික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි 19 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ‘එකමුතුව’ නමින් විශේෂ උත්සවයක් පැවැත්වූ අතර, එතුමන් නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ පැවැත්වෙන ‘කුම්බාභිෂේකම්’ උත්සවයටද සහභාගී වෙමින් ජනතාවට ආශීර්වාද කිරීමටද නියමිතය.

The post ගෝලීය ආධ්‍යාත්මික නායක ‘ගුරුදේව්’ ඇතුළු පිරිස මෙරට සංචාරයට ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගනී appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka