කොම්බෑන්ක් ඩිජිටල් විසින් ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් නව මානයක ‘H2H’ සේවාව දියත් කරයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ආයතන වෙනුවෙන් හඳුන්වා දී ඇති අති නවීන පැකේජය ‘කොම්බෑන්ක් ඩිජිටල් ව්‍යාපාර විසඳුම්’ (ComBank Digital Enterprise Solutions) පැකේජය තුළට එක්වූ නවතම සේවාවක් ලෙස කොමර්ෂල් බැංකුව විසින් “Host-to-Host” (H2H) ගෙවීම් සේවා දියත් කරන බව නිවේදනය ඇත.

H2H සේවාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර සම්පත් කළමණාකරණ (ERP) පද්ධති සමඟ සෘජුව ම සම්බන්ධ වන ස්වයංක්‍රීය හා ආරක්ෂිත විසඳුමකි. බැංකුව සහ එහි ආයතනික ගනුදෙනුකරුවන් අතර විද්‍යුත් දත්ත හුවමාරුව පහසු කිරීම සඳහා එය නිර්මාණය කර ඇත. මෙම තාක්ෂණය හරහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් බැංකු ප්‍රතිසන්ධාන සම්බන්ධ සාම්ප්‍රදායික ක්‍රියාවලි බැහැර කර, සියළුම ගනුදෙනු කළමණාකරණය වඩාත් කාර්යක්ෂම හා විශ්වාසනීය ක්‍රියාවලියක් බවට පත් කිරීමට මග පාදන බව බැංකුව පවසයි.

H2H සේවාවෙන් වෙනත් බැංකු යෙදුමකට හෝ වෙබ් අතුරු මහුණතකට පිවිසීමකින් තොරව, බැංකු සහ ඒවායේ ආයතනික ගනුදෙනුකරුවන් අතර විශාල පරිමාණයක දත්ත හුවමාරු කිරීම් ස්වයංක්‍රීය ව ඉටු කර දෙයි. මෙම විසඳුම මගින් ගනුදෙනුකරුවන්හට වෙළඳපල තුළ භාවිතා වන සම්මත ආකෘති වලට තම ලිපිගොනු සකස් කර ගැනීමට හා අදාල පරිදි හුවමාරු කර ගැනීමට හැකියාව ලබා දෙන අතර SAP, Microsoft Dynamics, Oracle Cloud, Odoo, සහ විවෘත මූලාශ්‍ර ERP පද්ධති ඇතුළු විවිධ ERP වේදිකා (platform) සමඟ සම්බන්ධ කිරීමේ පහසුකම් සපයයි.

“H2H සේවාව ඇතුළත් කොම්බෑන්ක් ඩිජිටල් ව්‍යාපාර විසඳුම් සේවා පැකේජය මගින් ව්‍යාපාරවල වර්ධනයට සහ ඩිජිටල් පරිවර්තනයට සහාය වන කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කරයි,” යනුවෙන් සහකාර සාමාන්‍යාධිකාරී කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණය – ප්‍රදීප් බන්දුවංශ මහතා පැවසීය. “ERP පද්ධතිය සහ බැංකු ප්‍රකාශවල සටහන් වන ගනුදෙනු සැසඳුම් කටයුතු ස්වයංක්‍රීය ව සිදු කිරීම හා බාධාවකින් තොරව විශාල ප්‍රමාණයක ගනුදෙනු

සිදු කිරීම ආදී කාර්යයන් ඉහළ කාර්යක්ෂමතාවයකින් හා ආරක්ෂාවකින් යුතුව ඉටු කිරීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය සියලුම දත්තයන් වෙත ක්ෂණිකව ප්‍රවේශ වීමේ හැකියාව ද ලබා දෙමින් H2H සේවාව හරහා නව අවස්ථා සම්භාරයක් ම ලබා දී ඇත.”

ඔහු පැවසුවේ කොමර්ෂල් බැංකුවේ H2H සේවාව විශේෂයෙන් ම සකස් කර ඇත්තේ විශාල දත්ත ප්‍රමාණයක් හසුරුවන ආයතනික ගනුදෙනුකරුවන් සඳහා ඉතා වැදගත් වන, ගෙවීම්, එක්රැස් කිරීම්, විශාල ප්‍රමාණයක ගනුදෙනු සිදු කිරීම සහ සැසඳුම් කටයුතු වැනි ක්‍රියාවලි විධිමත් කිරීම හරහා ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කිරීම වෙනුවෙනි. ගෙවීම් වලට අමතරව ස්වයංක්‍රීය බැංකු සැසඳුම් සඳහා දත්ත සම්ප්‍රේෂණය කිරීම, බැංකුවේ පද්ධතියට ලොග් වීමෙන් තොරව ERP පද්ධතිය හරහා බැංකු ගිණුම්වලට ප්‍රවේශ වීම, LC සම්ප්‍රේෂණය සහ බැංකුවෙන් ලබා දෙන විවිධ ඉල්ලීම් සැකසීම, වැනි සේවාවන් ද මෙම විසඳුමට ඇතුලත් වේ.

කොමර්ෂල් බැංකුවේ ආයතනික ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු විසින් දැනටමත් H2H සේවාවන් සඳහා කොම්බෑන්ක් ඩිජිටල් සමඟ ඔවුන්ගේ ERP පද්ධති ඒකාබද්ධ කර ඇති බව බන්දුවංශ මහතා අනාවරණය කළේය. විශාල පරිමාණයේ ගනුදෙනු ප්‍රමාණයක් සිදුකරන මෙම සමාගම් මගින් H2H හරහා ලැබෙන ක්‍රියාවලි විධිමත් වීම, තත්‍ය කාලීන වීම සහ වැඩිදියුණු කළ ආරක්ෂාව නිසාවෙන් ඔවුන්ගේ මූල්‍ය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස කළමණාකරණය කිරීමට හැකියාව ලැබී ඇති අතර, එමගින් ඔවුන් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංගලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත

විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

The post කොම්බෑන්ක් ඩිජිටල් විසින් ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් නව මානයක ‘H2H’ සේවාව දියත් කරයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka