ඉදිරියට යන්න ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රමාණවත් – IMF දූත මණ්ඩල ප්‍රධානියා කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය පසුගිය දා නිමා වූ අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සඳහා අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානම් මට්ටමක පවතින බවත් ණය තිරසාරභාවය සඳහා වන මාවත තවමත් දුෂ්කර අඩියක පවතින බවත්ය. එබැවින් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී දැඩිව අවධාරණය කෙරුණි.

මේ අතර ඉදිරි මැතිවරණ වකවානුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පීටර් බෘෘවර් මහතා පැවසුවේ, ඕනෑම රටක මැතිවරණ පැවැතවීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පූර්ණ වශයෙන් ගරු කරන බවත්, ඒ සඳහා මූල්‍ය අරමුදල අනුගත වන බවත්ය. කෙසේවෙතත් මූල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලරාමුවට යම් බලපෑමක් මැතිවරණ මගින් ඇති විය හැකි බව ඔහු මෙහිදී පැවසීය.

 

The post ඉදිරියට යන්න ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රමාණවත් – IMF දූත මණ්ඩල ප්‍රධානියා කියයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

Source From biz.adaderana
Author: Biz Editor
#SriLanka #News #lka