සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත්

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සැලසුම් කර තිබෙනවා.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධීක්‍ෂණ නිලධාරීන් එක්වීමට නියමිත බවයි.

මේ අතර, මේ වන විට දුම්රිය සහයකයින් බඳවා ගැනීමේ ගැටළුවක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් ද වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අද දහවල් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම යන  මහත්වරුන් සහ දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිති සාමාජිකයින් අතර සාකච්ඡා පැවැත්වුණා.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව අදහස් පළ කරමින් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ තම ගැටළුවට නිසි විසඳුමක් ලැබෙන තුරු අඛන්ඩව වර්ජනයේ නිරත වන බවයි.

කෙසේ වෙතත්, තම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් කාර්යාලීය දුම්රිය කිහිපයක් පමණක් අද පස්වරුවේ සහ හෙට පෙරවරුවේ ධාවනය කෙරෙන බව ඉන්දික දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියා.

The post සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත් appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico