සංහිදියාව ශක්තිමත් කිරීමේ දී භාෂාව ඊට බාධකයක් නොවිය යුතුයි – ජනපති

සංහිදියාව ශක්තිමත් කිරීමේ දී භාෂාව ඊට බාධකයක් නොවිය යුතුයි - ජනපති

සිංහළ දරුවන්ට දෙමළ භාෂා ඥානය ද දෙමළ හා මුස්ලිම් දරුවන්ට සිංහළ භාෂා ඥානය ලබාදීමට රජයක් වශයෙන් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණ ගන්නා බව අද (23) මහනුවර ධර්මරාජ විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති  සමස්ථ ලංකා දමිළ භාෂා දින සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් ජනාධිපතිවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.

දමිළ භාෂා සාහිත්‍ය උත්සවයක් සදහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපතිවරයෙකු සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර සාහිත්‍ය සම්මාන ප්‍රදානයට සමගාමීව මහනුවර නගරයේ දී පාසල් දරු දැරියන්ගේ තූර්යවාදන හා සංස්කෘතික රැළියක් ද පැවැත්විණි.
සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් මෙසේ පැවසීය.

ජාතික දෙමළ භාෂා දිනය ප්‍රකාශයට පත්කර මේ වන විට වසර 26කට ආසන්නයි. නමුත් එහි වාර්ෂිකව පැවැත්වෙන උත්සවයට ජනාධිපතිවරයෙක් සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙයයි. තමන්ගේ භාෂා දැනුම දියුණු වූ විට තමයි පුද්ගලයා දියුණු වූ අයෙකු වශයෙන් සමාජයට පිවිසෙන්නේ. භාෂාව මගින් ශ්‍රවණ, කථන, පාඨක හා ලිඛිත යන චතුර්විද බලවේග උද්දීපනය කිරීමට අනගි අවස්ථාවක් උදාවෙනවා.

තමන් කථාකරන භාෂාව කුමක්වුවද එම භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට මෙන්ම පරිපාලන කටයුතු සිදුකිරීම සදහා පහසුකම් සැපයීම රජය සතු වගකීමක් මෙන්ම යුතුකමක්. ලෝකයේ රටවල් 193ක සාමාජිකත්වයෙන් යුක්ත එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම සෙසු සංවිධාන ද ප්‍රඥප්ති තුළින් එය පිළිගෙන සම්මත කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්ෂික සමුළුවේදී ද කුමන රටක කුමන භාෂාව කථාකරන නායකයන්ට තමන්ගේ භාෂාවෙන් කථාකිරීමට එහිදී අවස්ථාව ලැබෙනවා.  ඒ අනුවයි ඉකුත් මාසයේදී පැවැති එම සමුළුවේදී මම සිංහළ භාෂාවෙන් කථා කළේ.

භාෂාවක් කථාකරන සියලු ජනතාවට සිය භාෂාවෙන් කටයුතු කිරිමට ද පරිපාලන කටයුතු කිරීමට ද පහසුකම් සැලසීම රජය සතු වගකීමක්. ඒ නිසා අදාළ භාෂාව කථාකරන සියලු දෙනාට එම වගකීම තහවුරු කිරීම අත්‍යවශයි. සිංහළ හා ඉංග්‍රීසි හෝ වේවා කුමන භාෂාව කථාකළ ද එම භාෂාව කථාකරන පිරිසගේ අයිතීන් රජය විසින් සැමවිටම තහවුරු කළ යුතුයි.

දැනට දශක කිහිපයකට පමණ පෙර මෙරට ජාතික භාෂාව හා රාජ්‍ය භාෂාව පිළිබදව ගැටලුවක් මතුවුණා.  රාජ්‍ය පරිපාලනයේදී භාෂාව මගින් සිදුවන අඩු පාඩු හේතුවෙන් බෙහෝවිට ජනතාවට සමාජය තුළ දැඩි අසාධාරණයක් සිදුවෙනවා. දෙමළ භාෂාව කථාකරන පවුලකට සිංහළ භාෂාවෙන් ලිපියක් යොමු කළ හොත් ඉහත කී පවුලට අසාධාරණයක් සිදුවෙනවා. ඒ නිසා දෙමළ කථාකරන සියලු දෙනාට රාජ්‍ය පරිපාලන කටයුතුවලදීත් වෙනත් අවස්ථාවලදීත් ඔවුන්ගේ භාෂාවෙන් පහසුකම් සැලසිය යුතුයි.

භාෂව පදනම් කර ගෙන ඇතැම්විට ඇතිවන සංස්කෘතික ගැටුම්තුළ විවිධ අසීරුකම් හා කලබල ඇතිවීමේ හැකියාවක් ලෝකය තුළ ම තිබෙනවා. විවිධ භාෂා කථාකරන අය අතර ඇතිවන ගැටුම් ලෝක ඉතිහාසය තුළ දැකිය හැකියි. නමුත් භාෂාවේ හඩ, මනුෂ්‍යත්වයේ හඩ විය යුතුයි. සෑම විටම අප මිනිසුන් බව සිතිය යුතුයි. මිනිසුන් ළග තිබිය යුතු ගුණාංගයන් සෑම කෙනෙකු ළගම තිබිය යුතුයි. මිනිමත් බව ශක්තිමත් කිරීමට කිසිවිටක භාෂාව බාධකයක් නොවිය යුතුයි.

ඔබේ භාෂා දැනුම උගත්කම වර්ධනය කිරීම සදහා රජයක් වශයෙන් සෑම විටම ලබා දිය හැකි උපරිම පහසුකම් අප ලබා දෙනවා. භාෂාව අනුව කුමන අයුරකින්වත් පංති භේදයක් මතු නොවිය යුතුයි. භාෂාව අනුව කිසිවිටකත් සම්පත් බෙදීයාමේ අසාධාරණයක් සිදු නොවිය යුතුයි. ඉතිහාසයේ ඇතිවූ එවැනි ගැටලුකාරී තත්ත්වයන් අධ්‍යයනය කර ඉන් පාඩම් ඉගෙනීම අවශ්‍යයි.

උතුරේ මම සංචාරය කළ අවස්ථාවලදී එහි දරුවන් පවසන්නේ සිංහළ ඉගෙනීමට ගුරුවරුන් නොමැති බවයි. දකුණේ තිබෙන්නේත් එවැනි තත්ත්වයක්. එහි දරුවන්ට දෙමළ බස ඉගැන්වීමට ගුරුවරුන් ප්‍රමාණවත් නැහැ. උතුරේ දකුණේ භාෂා දැනුම වර්ධනය කිරීම සදහා යම් වැඩපිළිවෙලක් යෙදීම අත්‍යවශයි. මෙම කරුණ සම්පූර්ණ කිරීමට කිසිම රජයක් සමත්වෙලා නැති බව කණගාටුවෙන් වුවද කිව යුතුයි.
ඒ නිසා සිංහළ දරුවන්ට දෙමළ ද දෙමළ හා මුස්ලිම් දරුවන්ට සිංහළ භාෂාව ඉගෙනීමට අවස්ථාව පුළුල් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන් වන වී.රාධාක්‍රිෂ්ණ මහතා , රවුෆ් හකීම් මහතා, පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, ඉන්දියානු සහකාර මහ කොමසාරිස් රාධා වෙන්කටරාමන් මෙනවිය ඇතුලුව මහජන නියෝජිතයන් ද රාජ්‍ය නිලධාරීන් හා දරු දැරියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගීව සිටියහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Powered by WPeMatico