ශ්‍රීපාද රක්ෂිතය නැවතත් අනතුරේ – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය #SriLanka #LKA

ශ්‍රීපාද රක්ෂිතය නැවතත් අනතුරේ - පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවිය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන ලද්දේ ම‍ෙහි පාරිසරිකව, ජෛව විවිධත්ව හා ජල විද්‍යාත්මකව ඉතාමත් වටිනා ඉතා සංවේදී පරිසර කලාපයක් නිසාවෙනි.

2013 වසරේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට උත්සාහ කළ ශ්‍රී පාද අඩවියේ අක්කර 99 ක භූමි ප්‍රමාණයක් පූජා භූමියක් ලෙස නම් කොට සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කොට තිබියදී අප සහ තවත් පරිසර සංවිධාන හා දේශපාලන පක්ෂ ගෙන ගිය වීරෝධතා නිසා එය හකුලා ගැනීමට සිදුවිය.

නමුත් එම ව්‍යාපෘතිය වෙනත් ආරකින් නැවත ක්‍රියාත්මක වෙමින් පවතී. මෙතෙක් ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

එහෙත් මෙය පූජා භූමියක් ලෙස නම් කිරීම යටතේ බැතිමතුන්ට පහසුකම් සැපයීම සඳහා ශ්‍රී පාදය දක්වා ගමන් කරන මාර්ගයේ දෙපස එළි පෙහෙලි කිරීමට අමාත්‍යංශයෙන් අවසරය හිමි වන අතර නවාතැන් පහසුකම් ගැනීම සඳහා ගොඩනැගිලි ඉදිකිරීම හා ගමන් කිරීම සඳහා දියුණු මාර්ග ඉදිවීමද සිදුවේ.
එමෙන්ම පරිසර සංවිධාන මැදිහත්වීමෙන් හකුළා ගනු ලැබූ කේබල් කාර් ව්‍යාපෘතිය හා හොටල් ව්‍යාපෘතිය නැවත නව ආරකින් සක්‍රීය කිරීමටද මෙමගින් අවස්ථාව සැළසෙන බව පෙනෙන්නට ඇත.

1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට ශ්‍රීපාද අඩවිය අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබේ.

එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස පූජා භුමියක් ලෙස නම් කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එවකට අමාත්‍ය මණ්ඩය සංදේශය ඉදිරිපත් කොට තිබිණි.

එම අවස්ථාවේ යටගිය මෙම ව්‍යාපෘතිය යහපාලනය යටතේ හොර රහසේ මේ වනවිට ක්‍රියාත්මක කරමින් ඇත. ආගම් භේදයකින් තොරව පුද පූජා ලබන මෙම ශ්‍රී පාදස්ථානය පිහිටි ශ්‍රීපාද රක්ෂිතය බේරා ගැනීම සඳහා සියලු දෙනා ආගම් භේදයකින් තොරව එක්‌විය යුතුය.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico