විපක්ෂ නායකකම ගන්න එක මතයක් නැති ඒකාබද්දෙට ජනාධිපතිකම ගන්න පුලුවන්ද ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 70 කගේ බහුතරය හිමි ඒකාබද්ධ විපක්ෂයට, විපක්ෂ නායක තනතුර හිමිවිය යුතු බවට ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රකාශ කරමින් සිටී. පසුගියදා ඒ සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියේ දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායකධූරය ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් ඒ සඳහා අත්සන් කර තිබුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසන්නේ, ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක තනතුර අවශ්‍ය නොවන බවයි. ඒකාබද්ධ විපක්ෂය කිසි විටෙකත් විපක්ෂ නායක තනතුර ඉල්ලා නොමැති බවත් විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමේ අවස්ථාව ලබාදෙන ලෙස පමණක් ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

විපක්ෂ නායකධූරය ලබාගැනීම සම්බන්ධයෙන් ද ඒකාබද්ධ විපක්ෂය තුළ කල්ලිවාදය ඉස්මතු වී ඇති අතර ගෝඨා හිතවාදී කණ්ඩායමේ අවශ්‍යතාවය වී ඇත්තේ විපක්ෂ නායකධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දී බැසිල්-මහින්ද හිතවාදී කණ්ඩායම දුර්වල කිරීමයි. කෙසේ වෙතත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප බහුතරයකගේ විරෝධය එල්ල වී ඇති අතර බැසිල් හිතවාදී කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ විපක්ෂ නායක තනතුර ලැබෙන්නේ නම් එය කුමාර වෙල්ගම මහතාට ලබාදීමටයි.

කුමාර වෙල්ගම මහතා විපක්ෂ නායකධූරය පත් කළයුතු බවට පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් විසින් යෝජනාවක් ද සම්මත කරගෙන තිබේ.

මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂ නායකධූරය බෙදාගැනීමේ සටනක නිරත වෙමින් සිටී. කතානායකවරයාට ලැබුණු ලිපියට අනුව කතානායකවරයාගේ අවසන් තීරණය හෙට දිනයේදී ප්‍රකාශයට පත්වීමට නියමිත වේ. යම් හෙයකින් විපක්ෂ නායකධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට කතානායකවරයා තීරණය කළහොත් එය ඒකාබද්ධ විපක්ෂයේ රාජපක්ෂ සහෝදර කල්ලි අතර ඇති ගැටුම තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවක් වනු ඇත.

2019 වසර අවසන්වීමට පෙර මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා තෝරගැනීමට ඔවුන් තවමත් අසමත්ව සිටින අතර ජනාධිපති අපේක්ෂකත්වය මුල්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය තුළ මතවාදී ගැටුම් ඉහළ යමින් තිබේ. විපක්ෂ නායකධූරය හේතුවෙන් මෙම ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන කණ්ඩායම් මේ දිනවල පවසන්නේ ‘විපක්ෂයේ බහුතරය තිබියදී විපක්ෂ නායකධූරය ලබාගැනීමට නොහැකි රාජපක්ෂලා ජනාධිපතිවරණය ජයගන්නේ කෙසේද’ කියාය. විපක්ෂ නායක තනතුර ගන්න එකතුවෙන්න බැරි රාජපක්ෂලා ජනාධිපතිවරණය ජයගැනීම සඳහා එකතුවේ යැයි විස්වාස කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

LNW

The post විපක්ෂ නායකකම ගන්න එක මතයක් නැති ඒකාබද්දෙට ජනාධිපතිකම ගන්න පුලුවන්ද ? appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Thilak Priyantha
#SriLanka #News #lka

Powered by WPeMatico