විදුහල්පතිනිය දණගැස්සූ ඌව මහ ඇමතිට යළි අධ්‍යාපන අමාත්‍යධූරය ලබාදීම පිළිබඳ විරෝධය #SriLanka #LKA

විදුහල්පතිනිය දණගැස්සූ ඌව මහ ඇමතිට යළි අධ්‍යාපන අමාත්‍යධූරය ලබාදීම පිළිබඳ විරෝධය

 

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියට තම නිල බලය යොදා තර්ජනය කර හිරිහැර කිරීම සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මහ ඇමතිවරයාට එරෙහිව බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින අතර මහ ඇමතිවරයා අධිකරණ ඇප මත සිටී. එසේම ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමෙන්ද පරීක්ෂණයක් පවත්වමින් සිටින අතර එම පරීක්ෂණය ද අවසන් කර මේ දක්වා තීරණයක් ලබා දී නොමැත. එසේම ඌව පළාත් ආණ්ඩුකාරවරයාද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කළ බවත්, එහිදී අනාවරණය වන කරුණු අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවත්, ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් 2018.02.16 දිනැතිව ලංකා ගුරු සංගමයට ලිඛිතව දන්වා ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලූ පාර්ශවයන්ගෙන් මහ ඇමතිවරයාට එරෙහිව දැඩි විරෝධයක් පැන නැගුනු අතර, එම තත්වය හමුවේ අදාළ පරීක්ෂණවලට බාධා නොවීමට යයි පවසමින් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් මහ ඇමතිවරයා ඉවත් කරන ලදී. එහෙත් අදාළ පරීක්ෂණ කිසිවක් අවසන්ව නැති පසුබිමක ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් නැවතත් චාමර සම්පත් දසනායක මහ ඇමතිවරයා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයට පත් කර ඇත. මහ ඇමතිවරයා ඉවත් කිරීම පැවති විරෝධතාවය සමනය කිරීමට කළ ව්‍යාජ රංගනයක් බව මෙයින් පැහැදිලි වන්නේ යැයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා තමන් විසින්ම පරීක්ෂණයක් කිරීමට නිලධාරියෙකු පත් කර එම පරීක්ෂණය අවසන් වීමටත් පෙර චෝදනාවට ලක්වූ මහ ඇමතිවරයා නැවතත් අධ්‍යාපන ඇමතිධූරයට පත් කිරීම කනගාටුදායක තත්වයක් බවත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයාගේ මෙම කි‍්‍රයාවෙන් රජය චූදිතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ද මනාව පැහැදිලි වන බවත් ලංකා ගුරු සංගමය තම නිවේදනයේ සඳහන් කරයි.

මේ තත්වයට දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය මහ ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යධූරයෙන් වහා ඉවත් කර බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico