විජයකලා ගැන ඥාණසාර හිමිගෙන් වෙනස් කතාවක්

ගෙවීගිය වසර 70ක කාලය තුළ පත්වූ හැම නායකයෙක්ම කළේ අපව දුර්වල කිරීම බවත්, වත්මන් ශ්‍රී ලංකාවට නිසි නායකයෙකු නොමැති බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කන්දකැටිය කන්දකැපූ උල්පත ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේදී අනුශාසනාවක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියන් පැවසුවේ එල්ටිටිඊ සංවිධානය නැවත ඇති විය යුතු යැයි පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ ප්‍රකාශයක් සිදුකළ විජයකළා මහේෂ්වරන් පිළිබඳ තමාට ආඩම්බර බවයි.ඇය තමාගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටින බවත් උන්වහන්සේ එහිදී සඳහන් කළේය.

“විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද, ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.
දේශපාලකයෝ කළේ අපිව දුර්වල කරන එක. බෙදීම් ඇති කරන එක. මෙරට පාලනය කරන්න ආව පාලකයෝ අපිව දුර්වල කළා.හැබැයි විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.

මා සිරගත කිරීමෙන් පසු මේ රටේ විවිධ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා, බෞද්ධ ජනතාව විරෝධතා දක්වමින් බෝධි පූජා පවත්වමින් මා නිදහස් කර ගැනීමට කටයුතු කළා. අතීතයේ බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලද හැම කුලයකම උන්වහන්සේ ඒ කුලය වර්ගය රැකගන්න නායකත්වය දුන්නා. බුද්ධ පුත්‍රයන් ලෙස අපි මේ කරන්නෙත් අපේ ජාතිය ආගම රැකගැනීමට උත්සාහ කරන එකයි.

අපිට කන්නට කටක් තියෙනව වගේම කන්න බඩක් තිබෙනව වගේම ඉන්න රටක් තියෙන්න ඕනෑ.

ප්‍රභාකරන්ලා ආයුධ අතට ගත්තේ තමන්ගේ ජාතිය ගැන හිතලා. මේ රටේ ඉන්න නායකයන්ගේ නෝංජල්කම හින්දා විජයකලා වගේ ගෑනු අපේ නායකයන්ගේ කරෙත් නඟිනවා. අපි කැප කිරීම් කරන්න ඕනෑ. ජාතිවාත්සල්‍ය ඇති කරගන්න ඕනෑ. අපි මේ කරන දේ ප්‍රතිඵල තියෙන්නේ මතු උපදින අපේ දරුවන්ට. ඒ නිසා අපි අපේ වගකීම ඉෂ්ට කරන්නට හිතට ගත යුතු යැයි මා ප්‍රකාශ කරනවා”.

The post විජයකලා ගැන ඥාණසාර හිමිගෙන් වෙනස් කතාවක් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico