ලංගමට කෝටි 12 ක් පොලු තියපු මහින්දට උත්තර බඳින්නැයි අධිකරණය නියෝග කරයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනරැලි සඳහා ලංගම බස් රථ යොදා ගැනීම වෙනුවෙන් ලංගමට ගෙවිය යුතු රුපියල් කෝටි 12 මුදල ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පවරා තිබු නඩුවෙන් හිටපු අමාත්‍යවරු දෙදෙනකුගේ නම් ඉවත් කර සංශෝධිත චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කරන්නැයි පෙත්සම්කාර පාර්ශ්වයට හා වග උත්තරකාර පාර්ශ්වයට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අවසන් වශයෙන් අද (10) නියම කළේය.

මීට පෙර අවස්ථාවකදී දෙපාර්ශ්වයම විරෝධතා ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව මෙලෙස පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අවසන් වශයෙන් දින ලබාදුන්නේය. හිටපු අමාත්‍යවරුන් වන  සුසිල් පේ‍්‍රම්ජයන්ත හා අනුර ප‍්‍රියදර්ශන පෙරේරා යන මහත්වරුන්ගේ නම් එම නඩුවෙන් ඉවත් කර ඇත.

ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් පවරා තිබු මුල් නඩුවේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන මහත්වරුන් නම් කර  තිබිණි.

මෙම මුල් නඩුවේ චෝදනා පත‍්‍රය සංශෝධනය කළ පෙත්සම්කාර ලංකා ගමනාගමන මණ්ඩලය මුල් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන්ගේ නම් ඉවත් කර නව වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන මහත්වරුන් නම්  කර ඇත.

සංශෝධිත චෝදනා පත‍්‍රය ඉදිරිපත් කිරීම පිළිබඳව ලිඛිතව විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පාර්ශ්වය කළ ඉල්ලීමකට අධිකරණයේ අවසර ලබා දීම නිසා ඔවුන් ලිඛිතව විරෝධය ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම්කාර පාර්ශ්වයේ හා වගඋත්තරකාර පාර්ශ්වයේ උත්තර ඉදිරිපත් කිරීම සඳහා අවසන් වශයෙන් දින ලබාදුන් විනිසුරුවරයා මෙම උත්තර ලබන වසරේ පෙබරවාරි මස 06 වැනිදා ඉදිරිපත් කරන්නැයි නියම කළේය.

The post ලංගමට කෝටි 12 ක් පොලු තියපු මහින්දට උත්තර බඳින්නැයි අධිකරණය නියෝග කරයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico