මුස්ලිම් ජාතිකයන් තවුහිද් ජමාත් සංවිධානයට විරෝධතාව පලකර ඇත්තේ වසර 2කටත් ඉහත සිටයි

මේ මීට වසර දෙකකට පෙර කාත්තන්කුඩි නගරයේ මුස්ලිම් ජනතාව විසින් සිදුකළ උද්ඝෝෂණයක ඡායාරූපයි‍.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ (NTJ) හා එම සංවිධානයේ නායකයන්ගේ ක්‍රියාකලපය පිළිබඳව මුස්ලිම් ජනතාව පවා අවබෝධයෙන් සිටි අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වවලට අනතුරු ඇඟවූයේ උද්ඝෝෂණ පවත්වමිනි.

එදා වසර දෙකකට පෙර ඔවුන් ඉල්ලා සිටියේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කරන ලෙසයි, එහි නායකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියාවලට තිත තබා, ඇවිලෙන්නට යන ජාතිවාදී ගැටුම්වලට තිත තබන ලෙසයි.

එදා ඔවුන්ගේ අනතුරු ඇඟවීම්වලට පාලකයන් කන් නොදීමේ, අවධානය යොමු නොකිරීමේ පාපය අද දහස් ගණනක් දෙනා භුක්ති විඳිමින් සිටී.

එදා කාත්තන්කුඩි මුස්ලිම් ජනතාවගේ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානය යොමු කළේ නම් ජීවිත තුන්සිය ගණනක් අහිමි වීම වලක්වා ගැනීමට හැකියාව තිබිණි. එපමණක්ද ? රටේ ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ලවන්නේ ද නැත, මුලුමහත් ලෝකයේම සංචාරකයන් අපේ රට පිළිබඳව තබා තිබූ විශ්වාසය, සිංහල-මුස්ලිම් ජාතිකයන් අතර අඩු ලුහුඬුකම් තිබියදී පවා තිබූ සංහිඳියාව ලෝකයා හමුවේ තවදුරටත් තහවුරු වනු ඇත‍.

කෙසේ වෙතත් පාලකයින් ජනතා හඬට කන් දුන්නේ නැත.

වසර දෙකකට පමණ පෙර මුස්ලිම් සමාජය තුළන් NTJ ත්‍රස්ථ සංවිධානයට එරෙහිව නැගී ආ විරෝධතාව මුස්ලිම් ජාතිකයන් තුළ අද ද පවතී. අද පාර්ලිමේන්තුව අමතා අතුරලියේ රතන හිමි පවසා සිටියේ මුස්ලිම් ජනතාව මෙම ත්‍රස්ථ ක්‍රියාවට සිය විරෝධය පළකර සිටිය යුතු බවය.

කෙසේ වෙතත් ඔවුන් එම විරෝධය සිදු කරමින් පවතින්නේ වසර දෙකකට අධික කාලයක සිටය. අප රටේ ආරක්ෂක අංශ ඇතුළු සියළු බලධාරීන් එම විරෝධතාව පසෙකට තල්ලු කලේය. එසේම අද එය සමස්ථ මුස්ලිම් ජනතාවට ඇඟිල්ල දිගු කිරීමට හේතුවක් කරගෙන ඇත.

එබැවින් කළ යුත්තේ සියළු මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩුගසා ත්‍රස්තවාදයම පෝෂණය කිරීම නොව සැබෑ ත්‍රස්ථවාදීන් හඳුනාගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරවීමය.

The post මුස්ලිම් ජාතිකයන් තවුහිද් ජමාත් සංවිධානයට විරෝධතාව පලකර ඇත්තේ වසර 2කටත් ඉහත සිටයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico