මුම්බායි ජය ගනී

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති 16 වන තරගයේදී ගුජරාට් ලයන්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. දෙවැනි කඩුල්ල සදහා පන්දු 54 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ජොස් බට්ලර් (26) සහ නිතිෂ් රානා සමත්වූහ.

පන්දු 36 කට මුහුණදුන් නිතිෂ් රානා හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 53 ක් රැස්කරමින් ජයග්‍රහණයට අඩිතාලම දැමීය.ජයග්‍රහණය සදහා කණ්ඩායම රැගෙන ගිය රෝහිත් ශර්මා (නොදැවී 40) සහ කරන් පොලාඞ් (39) සිවුවැනි කඩුල්ල සදහා පන්දු 42 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් රැස්කිරිමට සමත්විය. සුරේෂ් රයිනා සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 65 කදී ලකුණු 80 ක සම්බන්ධතාවයක් පැවැත්වූ බ්‍රෙන්ඩන් මැකලම් දැවීයන විටදී පන්දු 44 කදී හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඩිනේෂ් කාර්තික් පන්දු 28 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 48 ක් රැස්කළ අතර සිවුවැනි කඩුල්ල සදහා ඉෂාන් කිෂාන් සමගින් එක්ව පන්දු 24 කදි ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමදට සමත්විය.කාසියේ වාසිය ලැබූ මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ගුජරාට් ලයන්ස් – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 176

(බ්‍රෙන්ඩන් මැකලම් 64, සුරේෂ් රයිනා 28, ඩිනේෂ් කාර්තික් නොදැවී 48, මිචෙල් මැක්ලෙනගන් 24/2)

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 177

(ජොස් බට්ලර් 26, නිතිෂ් රානා 53, රෝහිත් ශර්මා නොදැවී 40, කරන් පොලාඞ් 39, ඇන්ඩ්‍රැව් ටේ 34/2)

Source From Srilankasports
Author: Sri Lanka Sports
#SriLanka #News #lka

Powered by WPeMatico