මහින්දගේ නායකත්වයෙන් අලුත් පෙරමුණක් බිහිවෙයි… ඒකාබද්ධය ස්වාධීන වෙයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස නව සන්ධානයක් යටතේ දේශපාලන වශයෙන් ගොනු විය යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ ඒකමතිකව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.

මේ පිළිබඳව සාකච්ඡා ඉදිරි සතියේදී නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී සිදු කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (11දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින්

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ඊයේ (10දා) සවස ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවෙසේදී පැවැත්වූවා. එහිදී ගනු ලැබූ තීරණ අතර ප්‍රධාන වශයෙන්ම දැනුම් දිය යුතු තීරණ කිහිපයක් තිබුණා. ඉන් එකක් තමයි ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි කියන යෝජනාව. ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂයේ අයිතිය හා වරප්‍රසාද කිසිවක් ලබා දෙන්නේ නැහැ. වරප්‍රසාද ලෙස අපි සඳහන් කරන්නේ භෞතික වරප්‍රසාද නෙවෙයි. කමිටුවලට සහභාගි වීම, කථික කාලය ආදී අපට බලපාන ප්‍රධාන කාරණා පැහැරගෙන තිබෙන්නේ. එම නිසා අපි කථානායකවරයාට අවස්ථා කිහිපයකදීම දැන්වූවා. නමුත් මේ මොහොත දක්වාම ඒ කියන්නේ වසර තුනක්ම සැබෑ විපක්‍ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව හා නිල විපක්‍ෂය කටයුතු කරනවා.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ ඒකමතිකව තීරණය කළා නව සන්ධානයක් ලෙස දේශපාලන වශයෙන් ගොනු විය යුතුයි කියලා. ඒ සඳහා නමකුත් යෝජනා වෙලා තිබුණා ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින්.

The post මහින්දගේ නායකත්වයෙන් අලුත් පෙරමුණක් බිහිවෙයි… ඒකාබද්ධය ස්වාධීන වෙයි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico