බස්නාහිර පළාත් සභාවේ පුටුවකට යහපාලනයෙන් ලක්ෂ හයහමාරක් ගෙවීමට ජවිපෙ එරෙහි වෙයි.

බස්නාහිර පළාත් සභාවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ නව ගොඩනැගිල්ලේ සභා ශාලාවට මන්ත‍්‍රීවරයෙකු සඳහා ගෙන්වීමට තීරණය කර ඇති පුටුවක මිල ලක්ෂ හයහමාරකට ආසන්න වීම සම්බන්ධයෙන් ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි ආණ්ඩුකාරවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කිරීමට කටයුතු කර තිබේ. පළාත් සභාවේ මන්ත්‍රීවරු 104 දෙනෙකු සඳහා විදේශයෙන් ආසන ගෙන්වීමට මේ වනවිට ඇනවුම් භාර දී ඇති බවද ඒ මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
පළාත් සභාවේ සියලු ආයතන එක් ස්ථානයකට ගෙන ඒමට කටයුතු කිරීම යහපත් දෙයක් වන නමුත්, මන්ත්‍රී පුටුවකට පමණක් මෙවැනි මුදලක් වැය කිරීම කාගේත් පුදුමයට සහ ප්‍රායෝගික වශයෙන් විශ්වාස කළ නොහැකි  කාරණයක් බවයි ඔහු සඳහන් කරන්නේ.
එම නව ගොඩනැගිල්ලට මේ දිනවල කාර්යාලීය උපකරණ ඇණවුම් කරමින් තිබෙන අතර පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ සභා ශාලාව සඳහා මන්ත‍්‍රී ආසන ගෙන්වීමට කටයුතු කෙරෙමින් ඇති බව පසුගියදා පැවැති සභා කටයුතු කාරක සභාවේදී හෙළි විය.
අධික වියදමක් දරා මෙවැනි භාණ්ඩ ගෙන්වීමට අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙසත් එම තීරණය වහාම අවලංගු කරන ලෙසත් මන්ත‍්‍රීවරයා ඉල්ලා තිබේ.
“පළාත් සභා ගොඩනැගිල්ල හදලා තවම වැඩ පටන් ගෙන නැහැ. ගොඩනැගිල්ල හදපු එක ගැන සමහරුන්ගෙ ප‍්‍රසාදයක් තියෙනවා. ඒ ප‍්‍රසාදය පාවිච්චි කරලා දැන් මේ වගේ මගඩි කරන්න හදනවා. මේ විදියට මුදල් නාස්ති කරන්න අවසර දෙන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. කොහොමත් මේ විදියට ලොකු මුදලක් වෙන්කරගත්තාම මේකෙන් වැඩි ගාණක් ගසාකන්න පුළුවන්” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
building jvp 1

The post බස්නාහිර පළාත් සභාවේ පුටුවකට යහපාලනයෙන් ලක්ෂ හයහමාරක් ගෙවීමට ජවිපෙ එරෙහි වෙයි. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico