පොළොන්නරුවේ වී කුණු කොල්ලෙට – රජය අහක බලයි #SriLanka #LKA

පොළොන්නරුවේ වී කුණු කොල්ලෙට - රජය අහක බලයි

මේ වනවිට මාස් කන්නයේ වී අස්වනු නෙලීම සුළු වශයෙන් සිදු වන අතර කඩින් කඩ වසින වැසි නිසාත් රජයේ වී මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම නිසාත් මෙසේ වී මිල අඩු වී ඇතැයි ඔවුහු පවසති.

“ගිය සතියේ අමු වී නාඩු කිලෝ එක රුපියල් 50, 51 ට මිල තිබුණා. නමුත් අද වෙනකොට ඒක රුපියල් 34ට 35 ට බැහැලා. එක වැස්සක් වැ‍ටුනොත් රුපියල් 15 කින් විතර මිල පහල දානවා. මේකට හේතුව තමයි රජය තවමත් වී ගන්න සූදානමක් නෑ. අනික අපිට ගබඩා පහසුකම් නෑ. ණය වෙලා කුඹුරු වැඩ කරලා තියෙන්නේ. ප්‍රවාහන පහසුකමක් නෑ. හොඳ මිලක් තියෙන තැනකට ගෙනියන්න විදිහක් නෑ. ගමට කුඹුරට එන ලොරියට කීය වුනත් දෙන්න වෙලා තියෙනවා. රජය ගම් මට්ටමින් එකතු කිරීමේ මධ්‍යස්ථාන පටන් ගත්තොත් මේක ටිකක් හරියයි. මොකද මේ සැරේ වී තියෙන්නේ බොහොම ටිකයි.” වැලිකන්ද මෛත්‍රීගම ඩී 3 බෙදුම් ඇල ගොවි සංවිධානයේ ලේකම් ආර්.පී.ගුණරත්න මහතා (65) පැවසීය.

polonnaruwa r.p 01

මේ වතාවේ අස්වනුද බාගෙකින් පමණ අඩු වී ඇති බවත් ගොවියාට සාධාරණයක් ලැබෙන සේ වී මිල හොඳ තත්ත්වයක පවත්වාගෙන යාමට රජය මැදිහත් විය යුතු බවත් වැලිකන්දේ ගොවීහු පවසති.

මේ වනවිට නාඩු වී කිලෝව රුපියල් 35 ටත් සම්බා රුපියල් 46ටත් අලෙවි වේ. එසේ වුවත් රජයේ සහතික මිල ඊට පහලින් තිබීම නිසා ගොවියාගේ වී සදහා රජය පැහැදිලි තරගයක් දීමට අපොහොසත් බව ද ඔවුහු පවසති. “මගේ කුඹුර කරන්න රුපියල් 80000 ක් ලක්ෂයක් විතර වැය වුණා. අස්වනු අඩුයි. වී මිටි 135 ක් 150 ක් විතර වෙනදා ගන්නවා.මේ සැරේ මිටි 70 ක් විතර. අද මිල රුපියල් 35යි. සම්බා රුපියල් 46යි. නමුත් කඩේ හාල් මිල තාම තියෙන්නේ රුපියල් 100 මිලේ. ගොවියා හූරාගෙන කන එක නවත්වන්න තාම මේ ආණ්ඩුවලට බැරි වුනා.” වැලිකන්ද අසේලපුර එස්.ජී.කේ. තිලකරත්න මහතා (58) පවසයි.

කෙසේ වෙතත් හොඳින් වේලුණු වී සඳහා නාඩු කිලෝව රුපියල් 40 ට පමණ ද සම්බා 52 කට පමණ ද මිලට ගන්නා බැවින් මග දෙපස පාර දිගේ වී වේලීමට ද සිදුව තිබේ. පින්තූරවල දැක්වෙන්නේ එසේ වී වේලන අන්දමයි.

polonnaruwa r.p 02

පොළොන්නරුව ප්‍රියන්ත බණ්ඩාර





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico