පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය #SriLanka #LKA

පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය

සංගමයේ වැඩ බලන සභාපති එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වසර ගණනාවක සිට ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකිව නොයෙකුත් පීඩාවන්ට ලක්ව සිටින හෙද නිලධාරින් 26 දෙනකු මුදාහැරීම සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් නියෝග නිකුත් කළේ මීට මාස තුනකට පෙර බවයි. අදාළ හෙද නිලධාරින් 26 දෙනා 2018-03-20 දින වන විට මුදාහැරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් 2018-03-16 දිනෙන් පසුව හෙද කාර්යය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් එසේ වුවහොත් රෝගී සත්කාර බිඳවැටීම් ඇතුළු උද්ගත වන තත්ත්වයන්හි වගකීම පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසින් භාරගත යුතු බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

වෛද්‍ය අධිකාරීතුමා,
මූලික රෝහල,
පුත්තලම.

මහත්මයාණනි.

පුත්තලම රෝහලේ වාර්ෂික ස්ථාන මාරු නියෝග ලැබූ හෙද නිළධාරීන් 26 දෙනා මුදා හැරීම සම්බන්ධවයි

වර්ෂ ගණනාවක සිට ස්ථාන මාරු සම්බන්ධයෙන් පැන නැගී තිබූ මානුෂීය ගැටලු ගණනාවකින් පීඩාවට පත්ව සිටි පුත්තලම රෝහලේ හෙද හෙදියන් සමස්ත ලංකා හෙද සංගමය සමඟ ගෙන ගිය අඛණ්ඩ අරගලයක ප‍්‍රථිපලයක් ලෙසත්, වයඹ පළාත් සෞඛ්‍ය ලේකම් සහ පළාත් සෞඛ්‍ය සේවා සේවා අධ්‍යක්ෂක තුමා ඒ සම්බන්ධයෙන් සිදුකළ මැදිහත් වීමත් නිසා පුත්තලම රෝහලට 2017 වර්ෂයේ නව පත්වීම්වලින් හෙද නිළධාරීන් 44 දෙනකු ලබා ගැනීමට හැකි විය.

ඒ අනුව වසර ගණනාවක සිට ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකිව නොයෙකුත් පීඩාවන්ට ලක්ව සිටි හෙද නිළධාරීන්ගෙන් 26 දෙනෙකු මුදා හැරීම සඳහා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා ගෙන ඇති මානුෂීය තීරණය පිළිබඳ සංගමයේ ප‍්‍රසාදය හිමිවිය යුතුය.

නමුත් මාස තුනක කාලයක් ගත වුවද පළාත් සේවා අධ්‍යක්ෂකගේ එම ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමට ඔබතුමා කටයුතු කිරීම තුළ හෙද නිළධාරීන් තවදුරටත් පීඩාවට පත්ව සිටී. ඒ සම්බන්ධව අපගේ කණගාටුව මෙන්ම විරෝධයද පළ කර සිටින අතර ඔබ එසේ කටයුතු කිරීම තුල ඉදිරියේදී රෝහල තුල අර්බුදකාරී තත්වයක් ඇති විය හැකි බව පෙන්වා දෙමු.

එබැවින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ ස්ථාන මාරු නියෝග ලැබ සිටින හෙද නිළධාරීන් 26 දෙනා 2018/03/20 වන විට මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. එසේම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබතුමා සාධනීය ලෙස කටයුතු නොකරන්නේනම් 2018/03/16 දිනෙන් පසුව හෙද කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට අප විසින් තීරණය කර ඇති බව දන්වා සිටිමු. එසේම එහිදී සිදුවන රෝගී සත්කාර කටයුතු බිඳවැටීම් ඇතුළු සියල්ලේම වගකීම ඔබතුමා භාර ගත යුතු බවත් වගකීමෙන් යුතුව දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
හෙද නිළධාරී එච්. එම්. එස්. බී. මැදිවත්ත – 071 8616645
වැඩ බලන සභාපති,
සමස්ත ලංකා හෙද සංගමය.

 

සෞඛ්‍ය ලේකම්,
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
‘‘සුවසිරිපාය’’
කොළඹ 10.

ගරු ලේකම්තුමනි,

හෙද ව්‍යාස්ථාවෙන් හෙද හෙදියන්ට සිදු කර ඇති අසාධාරණයන්ට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම

2013. 11. 19 දිනැති 1837/8, අංක දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කළ නව හෙද ව්‍යවස්ථාව 2016. 01. 01 දින සිට හෙද සේවාව තුළ ක්‍රියාත්මක කර ඇත.

මෙම නව හෙද ව්‍යස්ථාව හරහා මෙතෙක් හෙද හෙදියන් භුක්ති විඳිමින් ආ බොහෝ අයිතීන් කිසිඳු සාධාරණ හේතුවකින් තොරව කප්පාදුවට ලක් කර ඇත. ඒ තත්වය මත හෙද සේවාවේ නියැලී සිටින හෙද හෙදියන්ට දැඩි අසාධාරණ ගණනාවක් සිදු වී ඇත.

විශේෂයෙන් මෙම ව්‍යාවස්ථාව මඟින් හෙද හෙදියන්ගේ ශ්‍රේණිගත උසස්වීම් සඳහා මෙතෙක් තිබූ කාලය වැඩි කර ඇත. එය ඔවුන්ගේ වැටුප් වැටුප්වලට හා සේවාවේ උන්නතියට ඍජුවම බලපා තිබේ. ඉතා දුෂ්කර තත්ත්වයන් හමුවේ සේවය කර ඔවුන් උපයාගත් වැටුප මෙන්ම ඔවුන්ට තිබූ උසස්වීම් පටිපාටිය ද නිර්දය ලෙස කොල්ලකෑමට ලක් කර තිබේ.

ව්‍යවස්ථාව මගින් නීතිගත කර තිබෙන මෙම අසාධාරණයන්ට එරෙහිව අප සංගමය සටන් කළ අතර සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු නිලධාරීන් සමඟ දිගින් දිගට කළ සාකච්ඡාවලින් අනතුරුව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අනිකුත් වෘත්තීය සමිතිවලට ද ව්‍යවස්ථා යෝජනා ලබා දෙන ලෙස දන්වන ලදී. එසේම ඒ සඳහා දින වකවානු ද යොදා ගන්නා ලදී. සංගමයක් ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයට අපගේ යෝජනා කෙටුම්පත ලබා දී තිබුන ද හෙද ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර නැත.

එබැවින් මේ මොහොත වන විට හෙද ව්‍යවස්ථාව නිසා උසස්වීම් ගැටලු විසඳා ගැනීමටත් පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණුව ලැබූ 1 ශ්‍රේණියේ හෙද සොහොයුරියන්ට සිදුවී තිබෙන අසාධාරණයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අප සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙද සේවාවේ 

  •  III ශ්‍රේණියේ සිට II ශ්‍රේණියට උසස් වීම වසර 5න් ලබා දෙනු.
  •  II ශ්‍රේණියේ සිට I ශ්‍රේණියට උසස් වීම වසර 5න් ලබා දෙනු.
  •  සියලු හිඟ වැටුප් වහා ගෙවනු.
  •  හෙද සොයුරියන් සඳහා වැටුප් තලයක් හා තනතුරු නාමයක් ලබා දෙනු. ( හෙද කළමණාකරණ සේවාව )

මෙම ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට අප සංගමය සූදානම් අතර තවදුරටත් එම ගැටලු විසඳාලීමට කටයුතු නොකරන්නේනම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කර සිටිමු.

ස්තූතියි.

මෙයට,
හෙද නිළධාරී එච්. එම්. එස්. බී. මැදිවත්ත
වැඩ බලන සභාපති, – 071 8616645
සමස්ත ලංකා හෙද සංගමය.

 – දයා නෙත්තසිංහ





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico