පක්ෂය ඉස්සරහට තියාගෙන යනවට වඩා රට වෙනුවෙන් එකතු වෙන්න කාලය පැමිණ ඇති බව අර්ජුන කියයි

පක්ෂය ඉස්සරහට තියාගෙන යනවට වඩා රට වෙනුවෙන් එකතු වෙන්න කාලය පැමිණ ඇති බව අර්ජුන කියයි

පක්ෂය ඉස්සරහට තියාගෙන යනවාට වඩා රටේ අවශ්‍යතාවන් වෙනුවෙන් එකට එක්විය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වේයන්ගොඩ, පත්තලගෙදර, බෝධිමංගලාරාමයේ පැවැති උත්සවයක් අමතමිනි.

එහිදී  අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“අපේ රටේ ප්‍රශ්න විසඳන්න මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී කටයුතු කිරීම ඉතාම වැදගත්. නමුත් ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. මෙතන ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බැට කාපු අය. එක්සත් ජාතික පක්ෂයෙන් බැට කාපු අයත් ඉන්නවා. අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ විට එක්සත් ජාතික පක්ෂයේ අයට ප්‍රශ්න ඇති කරනවා. එක්සත් ජාතික පක්ෂයේ අය දිනූ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ප්‍රශ්න ඇති කරනවා. නමුත් ඒ ක්‍රමය අපි වෙනස් කළ යුතුයි. ඒ සඳහා ආදර්ශයක් පසුගිය මැතිවරණවලදී ලබා දුන්නා. පක්ෂය ඉස්සරහට ති‍යාගෙන යනවාට වඩා රටේ අවශ්‍යතා වෙනුවෙන් එකතු විය යුතු කාලය අද ඇවිත් තියෙනවා.  

“ඒක කරන්න ලේසි පහසු දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ ප්‍රතිපත්ති වෙනස්. එක්සත් ජාතික පක්ෂ‍යේ ප්‍රතිපත්ති වෙනස්. ඒ නිසාම මේ පක්ෂ‍ දෙක එකට තියාගෙන යන එක අමාරු දෙයක්. මං එක වෙලාවකට කල්පනා කරනවා අපේ ජනාධිපතිතුමායි අගමැතිතුමායි මේ ක්‍රියාදාමය කරගෙන යන්නේ කොහොමද කියලා. අද තමුන්නාන්සේලාට පේනවා ඇති මාධ්‍ය හරහා ඕනෑම ඇමති කෙනෙක්ට, මන්ත්‍රී කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න නිදහස දීලා තියෙනවා මේ ආණ්ඩුව විසින්. අපිට වුණත් ඕනම දෙයක් කියන්න පුළුවන්. නමුත් තමන්ගේ පක්ෂය ඉස්සරහට තියන් කතා කරනවා නම් මං හිතන්නේ ඒක නෙමෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි කථා කළ යුත්තේ රට ඉස්සරහට තියන්” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

 





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico