නිදහස් කුසලානය: ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව අද සටනට

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දියාව තරග එක බැගින් ජයගෙන සිටින හෙයින් කණ්ඩායම් තුනටම ඉදිරියට පැමිණීම උදෙසා විවෘත අවස්ථාවක් නිර්මාණයවී ඇත. සියලු කණ්ඩායම්වලට තවත් තරග දෙක බැගින් ඉතිරිව ඇති බැවින් ඒවා සියල්ල ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ආර්. ප්‍රේමදාස පිටියේ මෙතෙක් පැවැති විස්සයි 20 තරග 30ක් අතුරින් වැඩිම ලකුණු එකතුව පෙරේදා දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ විස්මිත ජයක් ලැබීමත් සමග තරගාවලිය ජීවයෙන් පිරුණ එකක් බවට පත්ව තිබේ.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටුම විදුලි ආලෝක ධාරා මැද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ අද ආරම්භ වන අතර එයින් ජය ගන්නා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණේ. දැනට කණ්ඩායම් තුනම තරග ජයක් වෙනුවෙන් ලැබෙන ලකුණු 2 බැගින් ලබා සම මට්ටමේ සිටියද, දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම යම්තාක් සැනසිල්ලට හේතුවකි.

නිමාවට පත්වූ තරග දෙකේදීම ශ්‍රී ලංකා පිලේ පිතිකරණ අංශය උසස් මට්ටමක තිබුණද පන්දු යැවීමේදී ප්‍රතිවාදී පිතිකරුවන් මෙල්ල කිරීමේ ශක්තිය අවම විය. වේග පන්දු යවන්නන්ගේ පාලනයකින් තොර පන්දු යැවීම හේතුවෙන් මෙතෙක් පිටියට අවතීර්ණ නොවූ ඉසුරු උදාන හෝ සුරංග ලක්මාල් වැන්නකුට අද තරගයේදී දොරටු විවර වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ. ඉසුරු උදාන බංග්ලාදේශයේ පැවැති විස්සයි 20 තරගාවලියේදී දස්කම් දැක්වූ අතර සුරංග ලක්මාල් පසුගිය කාලයේ විශ්වාසයකින් යුතුව පන්දු යැවූ ක්‍රීඩකයෙකි.

ඉන්දීය ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් හා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් යන දෙදෙනාම ලකුණු අතර සිටින හෙයින් ආරම්භය පිළිබඳ දෙපිලේම විශ්වාසය තහවුරුවී ඇත. කුසල් ජනිත් පෙරේරා නිමාවූ තරග දෙකේදීම ප්‍රබල දස්කම් දැක්වුවද ඉන්දීය පිලේ මනීෂ් පාන්ඩේ හැර යම් දුරකට සාර්ථක වූ පිතිකරුවෙකු දක්නට නොමැතිවීම ගැටලුවකි.

මැද පෙළ පිතිකරුවන් වූ සුරේෂ් රෙයිනා හා දිනේෂ් කාර්තික් යන දෙදෙනාම නිමාවූ තරග දෙකේදී හිස එසැවීමට සමත් නොවීමත්, එම්. එස්. දෝනීගේ තැනට පැමිණි කඩුලු රකින පිතිකරු, 20 හැවිරිදි රිෂාබ් පාන්ට් ලකුණු අතරට නොපැමිණීම ද ක්‍රිකට් විචාරකයන්ගේ කතා බහට ලක්ව ඇති කරුණකි. එහෙයින් කේ. එල්. රාහුල් ට අද තරගයේදී ස්ථානයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැක.

The post නිදහස් කුසලානය: ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව අද සටනට appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico