නිකං චොපර් පැදීම හෙවත් නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දුගේ දෙපිටකාට්ටුකම

නිකං චොපර් පැදීම හෙවත් නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දුගේ දෙපිටකාට්ටුකම
 
මේ ලැයිස්තුව ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්වීමෙන් අනතුරුව බොහෝ අය එය වැරදි බව පෙන්වා දෙන්නට උත්සාහ කරමින් එය විවේචනය කළහ. විවේචන තිබුණද එය සැලකිල්ලෙන් යුතුව අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ රාජ්‍ය අමාත්‍ය විජේවර්ධන විසින් පාර්ලිමේන්තුගත කළ මෙම ලැයිස්තුවේ කිසිදු වරදක් නැති බව ය. එකම අඩුව තිබෙන්නේ එහි විදේශ නායකන්ව ලැයිස්තුගත කිරීමේ ය. විදේශ නායකයන්ට හෙලිකොප්ටර් සපන්නේ විදේශ අමාත්‍යාංශයේ, අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ හෝ ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත ය. මේ කිනම් අවස්ථාවකදී වුවත් අදාළ වියදම ගුවන් හමුදාවට ගෙවිය යුතුය. මෙම ලැයිස්තුවේ විදේශ නායකන්ගේ සවිස්තරාත්මක තොරතුරු දක්වා තිබුණත් ඔවුන්ට හෙලිකොප්ටර ලබාදෙන ලෙස ඉල්ලීම් කළේ කවුදැයි දක්වා නොතිබුණි. නමුත් ගෙවිය යුතු ගාණ තවමත් හිඟ ය. එය ගෙවාදැමීම හෙලිකොප්ටර ඉල්ලූ අයගේ යුතුකමයි. 
 
නිතර නිතර හෙලිකොප්ටරයෙන් නොමිලේ සවාරි ගිය එක් අයෙක් වන්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ය. ලැයිස්තුවේ සිටින අනෙක් සියලු දෙනාම දේශපාලනඥයන් වන අතර ඔහු පමණක් හිටපු නිලධාරියෙකි. එනම් හිටපු සිවිල් සේවකයෙක් වන අතර, ඉතිහාසයේ එදාමෙදාතුර සිටි කුජීතම රාජ්‍ය ලේකම්වරයා ද වේ. රජයේ සේවකයන් හැමෝටම, ‘කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න’, ‘කිසිම වෙලාවක නීතිය නමන්න එපා’ සහ ‘කිසිම වෙලාවක හරි දේ කරන්න බය වෙන්න එපා’ යනුවෙන් උපදෙස් දෙන පුරුද්දක් ඔහුට තිබුණේය. ලංකා නිව්ස් වෙබ් විසින් කරන ලද විමර්ශනවලින් පෙනී යන්නේ ඔහු විසින් පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි විදිහට පාවිච්චි කර ඇති බව සහ, ආණ්ඩුවේ නියෝජිත-ග්‍රාමසේවක සම්බන්ධතාවය පාවිච්චි කර ඉහළ තැනකට පැමිණ තිබෙන බවයි. 
 
ප්‍රනාන්දු යූඑන්පීය සමග පෙළ ගැසී සිටි අතර, සිවිල් සේවකයෙක් ලෙස සිටියදී පවා දේශපාලනය කළේය.  ඔහුගෙන් පැහැදිලිවම දිස්වුණු පාක්ෂික භාවය නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවති 2002-2004 සමයේ ඔහුව ආරක්ෂක ලේකම් තනතුරට උසස් කෙරිණි. එල්ටීටීඊ ය විසින් හැත්තෑවකට අධික බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් මරාදමන්නට මග පෑදූ, නිදහසින් පසු ලංකාවේ සිදුවූ නරකම පාවාදීම වූ ‘මිලේනියම් සිටි’ බුද්ධි අංශ මෙහෙයුම මාධ්‍යයට අනාවරණය වූයේ ඔහුගේ කාලයේ ය. එල්ටීටීඊ සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානියා වූ පුලිදේවන්ට ඇපල් ගෙන ගිය ඔහු ඒ ගැන පම්පෝරි ගසන්නටත් අමතක නොකළේය. යූ එන් පී ආණ්ඩුව ඇද වැටුණු පසු නෝර්වේ රාජ්‍යයේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සාම ක්‍රියාදාමය පිළිබඳ “My Belly is White” යනුවෙන් 2008 වසරේදී පොතක් ලීවේය. ලංකා නිව්ස් වෙබ් විසින් සිදුකළ විමර්ශනවලින් පෙනී යන්නේ ප්‍රනාන්දු 2008 ජූලි මාසයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට පොතේ පිටපතක් පිරිනැමීම සඳහා නිදහස් චතුරස්‍රයේ පිහිටා තිබූ නිවස වෙත ගිය බවයි. එහිදී පැවති සාකච්ඡාවේදී ඔහු රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුව හා සාම ක්‍රියාදාමය මෙහෙයවූ අන්දම ගැන දැඩි ලෙස විවේචනය කළ අතර, ඇයව වර්ණනා කරමින් පවසා තිබෙන්නේ ඇය විසින් අමාත්‍යාංශ තුනක් පවරාගෙන ඒ හරහා යූඑන්පීයෙන් මිදී රට නිදහස් කර ගත් බව ය. එහිදී ඔහු තවදුරටත් කියා තිබෙන්නේ ‘වික්‍රමසිංහ ඒකාධිපති නායකයෙක් බව’ත්, ‘කිසිවෙකුට ඇහුම්කන් නොදෙන බව’ත්, ‘ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කිසිවිටෙක තමන්ගෙන් උපදෙස් නොගත් බව’ත්, ‘ඔහු සමග වැඩ කළ නොහැකි බව’ සහ, ‘ඔහුට කිසිදාක රට ට නායකත්වය දෙන්නට නොහැකි බව’ ය. වික්‍රමසිංහ සහ යූ එන් පීයට ඔහුගේ තිබූ පාක්ෂිකභාවය එසේ විය. 
 
යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ඔහු නැවත යූ එන් පී ය හරහා ගැම්මක් ගත්තේය. ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පත්වීම් වෙනස් කළේ ඔහු ය. ලැයිස්තුව වෙනස් කළ ඔහු, තමන් කැමති බොහෝ අයව එම තනතුරවලට පත් කළේය. යූඑන්පීයෙන් ලබාදී තිබූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට අමතරව ජනාධිපති උපදේශකවරයෙක් ලෙස ඔහු විසින් ඔහුවම පත් කර ගත්තේය. ඔහු ආණ්ඩුවේ වැඩවලට කොයි තරම් ඇඟිලි ගැසුවේද කියනවා නම් එක්තරා අවස්ථාවක ජනාධිපති සිරිසේන ද ඉදිරියේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඔහුට දැඩි හඬින් පැවසුවේ හැමතිස්සේම කොළඹ නොසිට, නැගෙනහිර පළාතට ගොස් ආණ්ඩුකාර රස්සාව කරන්න කියා ය. වික්‍රමසිංහ එතැනින් ගිය පසු ඔහු ජනාධිපතිවරයාට කීවේ වික්‍රමසිංහ කතාකරන්නට දන්නේ නැති බව ය. යහපාලන ආණ්ඩුව යටතේ ඔස්ටින් ප්‍රනාන්දු සිය එක් දියණියක් (ඔහුට සිටින්නේ දියණියන් දෙදෙනෙකි) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පත් කරවාගැනීමට සමත් වූ අතර අනෙක් දියණියගේ (එක්සත් රාජධානියේ ජීවත් වන) සැමියාව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට පත්කිරීමට සමත් විය. 
 
මේ වන විට ප්‍රසිද්ධියට පත් වී තිබෙන, නැගෙනහිර පළාත් මහඇමතිවරයා විසින් එක්වරම නාවික හමුදා නිලධාරියෙකුට බැණවැදීමේ සිද්ධියේදී එසේ ඔහු බැණ වැදී තිබෙන්නේ එම අමාත්‍යවරයාට උත්සවයට පැමිණීම ට හෙලිකොප්ටරයක් ඔස්ටින් ප්‍රනාන්දු විසින් ලබානොදීම නිසා ය. ඔහුට එසේ හෙලිකොප්ටරයක් ලබානොදීම නිසා මෝටර් රථයෙන් පැමිණීමට සිද්ධ වී තිබියදී ඔස්ටින් ප්‍රනාන්දු එක් උත්සවයකින් තවත් උත්සවයක් වෙත හෙලිකොප්ටරයෙන් යමින් සිටියේය. තමන්ට තිබෙන්නේ චාරිත්‍රානුකූල භූමිකාවක් බවත් නියම පරිපාලන කටයුතු සිදුකරන්නේ මහාමාත්‍යවරයා විසින් බවත් ඔස්ටින් ප්‍රනාන්දුට අමතක ව තිබුණේය. ගුවන් හමුදාවෙන් ලැබෙන තොරතුරුවලට අනුව ඔස්ටින් ප්‍රනාන්දු වාතයකි. මන්ද ඔහු හැමතිස්සේම තමන් සහ තම පවුලේ අයගේ සවාරි සඳහා හෙලිකොප්ටර් ඉල්ලා සිටින නිසා ය. ත්‍රිකුණාමලයට ගොස් ආපසු සිය දියණිය වැඩ කරන ජයවර්ධනපුර රෝහල වෙත සහ ඇගේ පවුල බලන්නට යාම සඳහා ඔස්ටින් ප්‍රනාන්දු හෙලිකොප්ටර ලබාගත් අවස්ථා තිබේ. අනෙක් දියණිය පසුගිය වසරේ ලංකාවට පැමිණි විටත් ඔස්ටින් ප්‍රනාන්දු ඔවුන්ට ත්‍රිකුණාමලයට යාමට සහ ආපසු ඒමට හෙලිකොප්ටර් සවාරි ලබාගත්තේ, හරියට ඔහු ජනාධිපති හෝ අගමැතිට සමාන තලයක සිටින අයෙක් මෙන් ය.
 
ඔස්ටින් ප්‍රනාන්දු යහපත් රජයේ සේවයෙක් (දැන් විශ්‍රාම ගෙන සිටියත්) ලෙස පෙනී සිටියේ ඊට පටහැණිව වැඩ කරන අතරතුර ය. නිලධාරීන් වැඩ කළ යුත්තේ කෙසේදැයි වැදි බණ දෙසන ගමන් ඔහු දිගින් දිගටම අයුතු ප්‍රයෝජන ගත්තේය. ඔහු වැනි අය යහපාලන ආණ්ඩුවට පිරිමැසිය නොහැකි හානි සිදුකරති. ඔහු ව නතර කරනතාක් කල් ඔහු වැඩකරන්නේ තමන්ට උවමනා හැටියට ය. 
 
පරිවර්තනය: ක්‍රිෂාන්ති රාජපක්ෂ

Powered by WPeMatico