නකල්ස් අවට ආයෝජන ව්‍යාපෘති දෙකක් අත්හිටුවයි…

නකලස් රක්ෂිතය ආසන්නයේ පිහිටා ඇති ඇති මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපති තිලක් මහානාම මහතා සඳහන් කරයි.

එම ආයෝජන ව්‍යාපෘති මඟින් නකලස් ලෝක උරුමයට හානියක් සිදුවීමට ඉඩකඩක් පවතින හෙයින් ලෝක උරුම රක්ෂිතයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් එම තීරණය ගෙන ඇත.

ඊයේ (12) පරිසර අධිකාරියේ පැවති සාකච්ජාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

නකල්ස් ලෝක උරුම රක්ෂිතයට ආසන්නයේ පිහිටි රාජ්‍ය වැවිලි සමාගමට අයත් පාඩු ලබන වතු සඳහා විවිධ අයෝජන ව්‍යාපෘති හඳුන්වා දීමට සැලසුම් කර තිබූ අතර පසුගිය දින වල ඊට පරිසර සංවිධාන වලින් දැඩි විරෝධයක් එල්ල වූයේ ඉන් නකල්ස් රක්ෂිතයට අයහපත් බලපෑම් එල්ල වන බව පවසමිනි.

ඒ අනුව ඉදිරියේදී ආයෝජන ව්‍යපෘති සඳහා අවසර ලබා දීමේදී රක්ෂිතයට බලපෑමක් ඇති නොකරන ව්‍යාපෘති සඳහා පමණක් අවසර ලබා දීමට රාජ්‍ය වැවිලි සමාගම හා පරිසර අධිකාරිය තීරණය කර ඇත.

කෙසේ වෙතත් පසුගිය දින වල මේ සමබන්ධයෙන් පැවති විවාදාත්මක තත්ත්වයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හැසිරීම බලපා ඇති බව තිලක් මහානාම මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ නකල්ස් රක්ෂිතයේ සීමාවන් පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදිව පෙන්වා දී නොමැති බවයි. දැනට ලකුණු කර ඇති සීමාවට වඩා තවත් කිලෝමීටරයක පමණ ආරක්ෂක කලාපයක් ඇති බව ඔවුන් දැන ගෙන ඇත්තේ පරිසර සංවිධාන වල මඟපෙන්වීමෙනි. ඒ අනුව ඉදිරියේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එම කටයුතු නිරවුල් කර ගැනීමට කටයුතු කරන බවයි මහානාම මහතා ප්‍රකාශ කරන්නේ.

මේ මොහොත වන විට රාජ්‍ය වැවිලි සංස්ථාව නකල්ස් රක්ෂිත කලාපයේ කිසිදු ආයෝජන ව්‍යාපෘතියකට අත්සන් තබා නොමැති අතර නව ආයෝජන ව්‍යාපෘති 46කට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද මහානාම මහතා පෙන්වා දෙයි.

ප්‍රතික්ෂේප කරන ලද මිඩ්ලන්ඩ් වතුයායේ අක්කර 25ක ප්‍රමාණයක ආයෝජනය කිරීමට සූදානමක් පැවතියද ඉන් නකල්ස් රක්ෂිතයට කිසියම් හෝ බලපෑමක් සිදුවීමේ ඉඩක් පවතින නිසා එම අන්තර් කාලීන ගිවිසුම අහෝසි කළ බවයි ඔහු කියා සිටින්නේ.

මේ අතර හෙයාර්පාක් වත්ත අක්කර 1600ක විතර ප්‍රමාණයක් ඇති අතර ඉන් වාර්ෂිකව රුපියල් කෝටි 05ක පමණ අලාභයක් රජයට දැරීමට සිදුව ඇති හෙයින් කිරි හරක් වාපෘතියක් ආරම්භ කිරීමට කර තිබූ ඉල්ලීම පිළිබඳ සලකා බලා තිබූ නමුත් එයද ඉවත ලූ බව සභාපතිවරයා පවසයි.

මේ අනුව නකල්ස් ලෝක උරුම රක්ෂිතයට හානියක් වන කිසිදු ආයෝජන තීන්දුවක් නොගන්නා බව රාජ්‍ය වැවිලි සංස්ථාව අවධාරණය කරයි.

The post නකල්ස් අවට ආයෝජන ව්‍යාපෘති දෙකක් අත්හිටුවයි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico