දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන්නැයි අකිලගෙන් උපදෙස්

දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන්නැයි අකිලගෙන් උපදෙස්

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දීඝවාපී චෛත්‍යය ජනතාවගේ වන්දනාවට කඩිනමින් පත් කිරීම සඳහා පවතින ප්‍රධාන බාධාව මෙහි සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් මිලියන 25 ක් සපයා ගැනීම බවත් එබැවින් සංරක්ෂණ කටයුතු සඳහා වසර 5 ක් ගතවන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කරයි.

මේ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ගඩොල් ප්‍රමාණය සපයා ගැනීමේ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා ප්‍රමිතිගත ගඩොල් නිපදවන්නන් සමග සාකච්ඡා කර ඊට විසඳුම් ලබා දීමට තමන් මැදිහත් වන බවත් ඒ අනුව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට හැකි වන බවත් පෙන්වා දෙන ලදී.

මීට අමතරව දීඝවාපි පුදබිමෙහි පිහිටි චෛත්‍යය ඇතුළු අනෙකුත් සියලුම පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමටත් ඒ සඳහා බාධාවන් ඇත්නම් ඒ පිළිබඳ තමන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව දීඝවාපී චෛත්‍යය පෙර තිබූ තත්ත්වයට යළි ගොඩනැගීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 667 කි.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico