තවත් ලසන්ත ඝාතන සැකකරුවරුවකුට හමුදා උසස්වීමක්

තවත් ලසන්ත ඝාතන සැකකරුවරුවකුට හමුදා උසස්වීමක්
බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චිට ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙහි සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබියදී හමුදාපතිවරයා විසින් මෙම උසස්වීම ප්‍රදානය කර ඇත. 
 
සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක උසස්වීම් ලබාදීමේදී අදාල පුද්ගලයාගේ පූර්ව සේවා වාර්තාවන් පිරික්සා බැලීම සම්ප්‍රදායක් වුවත් ආන්දෝලනාත්මක ලෙස හෙළිදරව් වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට සහ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීමේ සිද්ධියට අදාලව චෝදනා ලත් නිලධාරීන්ට මීට පෙරද උසස්වීම් සහ වරප්‍රසාද ලබා දී තිබේ. මෙය රටක හමුදාවක් වශයෙන් ආරක්ෂා කරගත යුතු ප්‍රමිතිය කෙරෙහි බලපාන ගැටළුවකි. 
 
ලසන්ත ඝාතනයෙහි තොරතුරු වසන් කිරීම පිළිබඳ චෝදනා ලත් බ්‍රිගේඩියර් වන්නිආරච්චි අපරාධ විමර්ශන අංශයෙහි ප්‍රශ්න කිරීමට ලක් වී සිටියදී එම චෝදනාවෙන් නිදහස් වීමකින් තොරවම මෙසේ හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා විසින් බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කිරීම වැරදි පූර්වාදර්ශයක් සපයන බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි හිටපු යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු වන අතර ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කන්දේගෙදර පියවංශ ඇතුළු යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 17 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද්දේ ඔහු බුද්ධි අංශ ප්‍රධානියාව සිටියදීය. බ්‍රිගේඩියර් වන්නිආරච්චි අවසන් වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරන ලද්දේ පසුගිය 14 වනදාය. ඔහුට පෙර කන්දේගෙදර පියවංශ නම් බුද්ධි අංශ නිලධාරියාට මීට පෙර ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටියදීම උසස්වීමක් ලබා දී ඇති අතර ඔහුට වැටුප් සහ දීමනා ද නොගෙවිය යුතුව තිබියදීත් දිගින් දිගටම ගෙවා තිබේ. මේ පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසුව හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා පවසා තිබුණේ එය ;අත්වැරදීමක්’ බවය. 

Powered by WPeMatico