ඥානසාර හිමියන්ට වසර 19ක සිරදඬුවම්

බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 04කට වරදකරු බවට තීන්දු කළ අභියාචනාධිකරණය උන් වහන්සේට වසර 19ක සිරදඬුවම් නියම කර තිබේ. එය වසර 06කින් ගෙවිය යුතු බවටද නියෝග කර ඇත.

හෝමාගම හිටපු මහේස්ත්‍රාත් වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ 2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා ඥානසාර හිමිට එරෙහිව ඇති බවය.

දීර්ඝ සාක්ෂි විභාගයක් පැවති අතර පැමිණිල්ල ඉදිරිපත් කළ හෝමාගම හිටපු මහේස්ත්‍රාත් මෙන්ම කොළඹ වත්මන් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු පොලිසියේ සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් සාක්ෂි ලබා දී ඇත.

විත්තිය වෙනුවෙන් වගඋත්තරකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

කෙසේ නමුත් ඥානාසාර හිමියන්ගේ පාර්ශවයෙන් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් පැමිණිල්ලක් ගොනු කරන බවද පවසයි.

The post ඥානසාර හිමියන්ට වසර 19ක සිරදඬුවම් appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Thilak Priyantha
#SriLanka #News #lka

Powered by WPeMatico