චීන තානාපතිට තරවටු කිරීමෙන් “ඉල්ලන් කෑමට” සුදානම් වන යහපාලුවෝ…

බැඳුම්කර ගනුදෙනුව සමඟ සිදුවූ මහා වංචාව නිසා දේදුනු සන්ධානය බරපතළ අර්බුදයට ලක්‌ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඒකාබද්ධ විපක්‌ෂය අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක්‌ද ගෙන ඒමට සැරසෙයි. අගමැතිවරයා යටතේ ඇති ආයතනයක්‌ වන මහ බැංකුවේ, හිටපු අධිපතිවරයා එනම් අර්ජුන මහේන්ද්‍රන් පත්කරනු ලැබුවේද එතුමාගේ අභිමතය පරිදිය. මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරනු ලැබූවද ඔහුට තවත් විශ්ෂ තනතුරක්‌ අගමැති කාර්යාලය විසින්ම පිරිනමනු ලැබීය. ඇත්තෙන්ම යහපාලනය රජයේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්නේ ආර්. පාස්‌කරලිංගම් හා අර්ජුන මහේන්ද්‍රන් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ දෙදෙනාම අගමැති උපදේශකයෝය.
ආර්. පාස්‌කරලිංගම්ගේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ශ්‍රීලනිප ඇමැතිවරු කවර මතයක්‌ දරන්නේද යන්න නම් පැහැදිලි නැත. එහෙත් රටේ ජනතාව නම් 2015 ජනවාරි 08 න් පසුව ඇතිවූ ආර්ථික වෙනස ගැන නම් වර්තමානයේ බලවත් කෝපයෙන් සිටින බව රහසක්‌ නොවේ. මධ්‍යම පාංතිකයනගේ ආර්ථික පීඩනය තව තවත් දරුණු වී ඇති සෙයකි. යහපාලන වෙනස වෙනුවෙන් ඡන්දය දුන් ජනතාව එක්‌සත් ජාතික පක්‍ෂ ආර්ථික ප්‍රතිපත්ති නිසා තමන්ට වඩාත් යහපතක්‌ වනු ඇතැයි බලාපොරොත්තු වූහ. එහෙත් සිදු වූයේ කුමක්‌ද? කබලෙන් ළිපට වැටී උණු අළුපල්ලේ සැඟවී පිච්චීම නොවේද? යහපාලන ආර්ථික විශ්ලේෂකයෝ කවරක්‌ කීවද රාජපක්‌ෂ සමයේ පොදු ජනයාගේ ආර්ථිකය මීට වඩා සරුසාර විය. එය ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගැසූ අය පවා මේ වන විට හොඳින් අවබෝධ කරගෙන ඇති සත්‍යයකි.
එජාප ආර්ථික ඔස්‌තාර්ලා ක්‍රමයෙන් දියවී යද්දී මෙරට චීන තානාපතිවරයා යහපාලන ආණ්‌ඩුවට ප්‍රබල ප්‍රහාරයක්‌ දියත් කිරීම පසුගිය සතියේ සිදුවූ වැදගත් සිදුවීමකි. බැඳුම්කර ගාලගෝට්‌ටිය හමුවේ මේ ගැන වැඩි අවධානයක්‌ යොමු වූවේද යන්න ප්‍රශ්නයකි. නමුත් අප මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු වන්නේ චීනය කිසි විටක අප හැර නොගිය මිත්‍රයකු බැවිනි. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූ මෙරට චීන තානාපති ෂියැන්ග් ලියැන්ග් මහතා කෙළින්ම ප්‍රහාර එල්ල කර තිබුණේ කාට එරෙහිවද? යහපාලන ආණ්‌ඩුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිවය. යුරෝපයෙන් ඩොලර් මිලියන 50 ක ණය මුදලක්‌ 5% ක පොලී අනුපාතයක්‌ යටතේ මේ රජය ලබාගෙන ඇතැයි පවසන චීන තානාපතිවරයා, එහෙත් චීනය ණයදී ඇත්තේ 2% පොලියටය. එහෙත් චීන ණයවල පොලිය අධික යෑයි රවි කරුණානායක මහතා විසින් ප්‍රකාශ කර ඇති බව මෙම පුවත්පත් සාකච්ඡවේදී චීන තානාපතිවරයා අවධාරණය කර සිටියේය. 5% පොලියට වඩා 2% පොලිය සාධාරණ නොවන්නේදැයි හෙතෙම මාධ්‍යවේදීන් ගෙන් විමසා සිටියේය.
චීනය මගින් ලබාදෙන ණය පොලිය අසාධාරණ යෑයි කියමින් ලංකා රජය නැවතත් චීන එක්‌සිම් බැංකුවෙන් ණය ඉල්ලා ඇති බවත් මෙහිදී තානාපතිවරයා අවධාරණය කර සිටියේය.
යහපාලන ආණ්‌ඩුව බලයට පත්වූ දා සිට අනුගමනය කරනු ලැබුවේ චීන හිතවාදී ප්‍රතිපත්තියක්‌ නොව ඉන්දීය හිතවාදයකි. එහෙත් ඉන්දීය හිතවාදයෙන් කිසිම සහායක්‌ නොලැබෙන බව අවබෝධ වූ විට යළි චීනයේ සරණ පතන්නට විය.
චීන ජනපතිවරයා විසින් ආරම්භ කළ වරාය නගර ව්‍යාපෘතිය හදිසියේ නතර කළ යහපාලන ආණ්‌ඩුව ඒ හරහා චීනයට රාජ්‍යතාන්ත්‍රික නිග්‍රහයක්‌ද සිදු කළේය. එහෙත් දැන් වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වී ඇත. ඉන්දියාව සතුටු කිරීමට මාස ගණනකට හෝ මෙම වරාය ව්‍යාපෘතිය නතර කිරීමෙන් යහපාලන රජය සිදු කළේ දේශපාලන අමනකමකි. රාජපක්‌ෂ ආණ්‌ඩුව චීන හිතවාදී වීම, ඉන්දියාවට මෙන්ම ඇමරිකාවට ප්‍රශ්නයක්‌ විය. ජනවාරි 08 වෙනස සිදු කිරීමට රෝ ඔත්තු සේවය ඉන්දීය රුපියල් බිලියන ගණනින් පොම්ප කළේද චීන ප්‍රශ්නය නිසාය. එහෙත් රාජපක්‌ෂ ආණ්‌ඩුව හම්බන්තොටින් අක්‌කර 15,000 ක්‌ චීනයට දීමට යෝජනා කළේ නැත. මත්තල හෝ හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට ලබාදීමට උත්සාහ කළේ නැත. එහෙත් අගමැති වික්‍රමසිංහ මහතා ඒ සියල්ල සඳහා කටයුතු සූදානම් කර ඇත. මේ සම්බන්ධව නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශිකයන් කුමක්‌ කියන්නේද යන්න අප නොදනිමු.
කවරක්‌ වෙතත් චීන තානාපතිවරයා එල්ල කළ විවේචනය යහපාලන ආණ්‌ඩුවට සුබදායක වන්නේ නැත. සාමාන්‍යයෙන් යම් රටක සිටින විදේශ තානාපතිවරයෙක්‌ එම රටේ ආණ්‌ඩුව හෝ අමාත්‍යවරයකු විවේචනය කරමින් පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වීම ඉතා විරල දෙයකි. මේ ගැන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයද නිහඬය. ලංකාවට වැඩියෙන්ම ආධාර උපපකාර සපයන රට චීනයයි. වත්මන් ජනපතිතුමාගේ පිබිදෙන පොළොන්නරුව වැඩපිළිවෙල හා සම්බන්ධ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ද ආධාර ලබා දෙන්නේ චීනය විසිනි. එසේ නම් චීනය තරහ කර ගැනීම හොඳ දෙයක්‌ නම් නොවේ.
ඉන්දියාව වැනි රටක කටයුතු එරට වෙසෙන කවර තානාපතිවරයකු විසින් හෝ විවේචනය කරනු ලැබුවේ නම් එම තානාපතිට ඊට පසුදිනම දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළෙන් නැවත ආපසු සියරට බලා යැමට සිදු වේ. පසුගිය දිනවල දිල්ලියේ පකිස්‌තාන තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනකුම ආපසු ඉස්‌ලාමාබාද් වෙත යවන ලද්දේ බුද්ධි තොරතුරු එක්‌රැස්‌ කිරීමේ චෝදනා මතය. කවරක්‌ නමුත් ශ්‍රී ලංකාවට සෑම විටම නොපැකිලව උදව් කළ චීනය අමනාප කර ගැනීම කිසි විටක සුබදායක නොවේ.

The post චීන තානාපතිට තරවටු කිරීමෙන් “ඉල්ලන් කෑමට” සුදානම් වන යහපාලුවෝ… appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico