ගෝඨාට අදත් අධිකරණය පිහිටවෙයි – අත්අඩංගුවට ගැනීම ඉදිරියටත් තහනම්..!

රාජපක්ෂ පාලන සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගයක් ඉදිරියටත් බලාත්මක කිරීමට අභියාචනාධිකරණය අද(14) නියම කළේය.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද(14) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.

මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ තවදුරටත් සහතික  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බව ද නීතිපතිවරයාගේ පාර්ශවයෙන් අධිකරණයට දන්වා සිටියේය. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන 25 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට ද ගෝඨාභය රාජපක්ෂ මහතාට  අධිකරණය නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම ජුලි මස 25 වනදා කැඳවීමට ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් තීන්දු කර තිබේ

The post ගෝඨාට අදත් අධිකරණය පිහිටවෙයි – අත්අඩංගුවට ගැනීම ඉදිරියටත් තහනම්..! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico