ගින්දර සහ වියරුව – 3 වැනි කොටස – මට මේ ලෝකයේ ජනප්‍රියම මිනිසා වෙන්න පුළුවන්!. #SriLanka #LKA

ගින්දර සහ වියරුව - 3 වැනි කොටස - මට මේ ලෝකයේ ජනප්‍රියම මිනිසා වෙන්න පුළුවන්!.

කෙලියෑන් කොන්වේ කියන්නෙ ට්‍රම්ප්ගෙ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙ කළමනාකාරවරිය. ඒ වගේම ‘ට්‍රම්ප් ලෝකයේ’ කේන්ද්‍රීය සහ අනිවාර්යයෙන්ම දිදුළනසුලු පෞරුෂය. ඇය ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලෙ පිහිටා තිබෙන තමන්ගෙ වීදුරු කාමරයෙ හරි බරි ගැසී වාඩි වී සිටියා. ජනාධිපතිවරණයට තව තිබුණෙ සති කිහිපයක් පමණක් වුණත් ඒ මැතිවරණ ප්‍රචාරක මූලස්ථානය තවදුරටත් අසාමාන්‍ය නිහඬ බවකින් වෙළී ගිහින්. එය සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයකට වඩා වෙනස් වුණේ දක්ෂිණාංශික සටන් පාඨ දැක්වෙන පෝස්ටර කිහිපයක් නිසා පමණයි.

විපත්තිකාරී පරාජයක් අත් නොවෙනවා නම් ජයග්‍රහණය නින්නාද වේවි වගේ හැඟීමකින් යුතුව කෙලියෑන් උද්‍යෝගිමත් බවකින පසුවුණා. ට්‍රම්ප්ගේ පරාජය සිකුරු බව ඇයට විශ්වාස වුණත්, එහෙම වෙන්නේ සුළු ඡන්ද ප්‍රමාණයකින් වීමට ලොකු ඉඩක් තිබුණා. එවිට එය සැලකිය යුතු ජයග්‍රහණයක්. පරාජය දුරින් පෙනුණත් ඇය උරහිස් හකුළා එය නොතකා සිටියා. එහෙම වුණොත් එය රෙයින්ස් ප්‍රීබස්ගෙ වැරැද්ද මිසක් ඇගේ වරදක් නෙවෙයි.

දවසෙන් වැඩි කොටස ඇය ගත කළේ මිතුරු මිතුරියන්ට කතා කරමින්, දේශපාලන ලෝකයේ සගයන් අමතමින් සහ ප්‍රීබස්ට දෝෂාරෝපණය කරමින්. ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගෙන තිබුණු රූපවාහිනී නිෂ්පාදකයන් පිරිසක් සහ මාධ්‍යවේදීන් පිරිසක් වෙත ඇය සිදුවෙමින් තිබෙන දේවල් ලුහුඬින් විස්තර කළා. ඔවුන් ගතවූ සති කිහිපයම ඇයව සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් සිටියා. ඇය සිටියේ මැතිවරණයෙන් පසුව ස්ථිර පදනමකින් විද්‍යුත් මාධ්‍ය රැකියාවක් ලැබීමේ බලාපොරොත්තුවෙන්. අගෝස්තු මැද භාගයේ ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමග එක්වීමෙන් පසුව ඇය ප්‍රවේශමෙන් මේ කණ්ඩායම් සමග සම්බන්ධය ගොඩනගාගෙන සිටියා. ඒ අනුව අතරින් පතර නගන මද සිනහව, අනාරක්ෂිත ශාන්ත බව සහ රූපවාහිනී තිරයට ඔබින අසාමාන්‍ය ටෙලිකාන්ත මුහුණත් සමග, ට්‍රම්ප්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ විශ්වාසනීය හඬක් බවට පත්වෙන්නට ඇයට හැකියාව ලැබී තිබුණා.

මේ ප්‍රචාරණ ව්‍යාපාරයේදී සිදුවුණු අති දැවැන්ත දෝෂයන් සියල්ල අබිබවා සැබෑ ප්‍රශ්නය වන්නේ තමන්ට පාලනය කළ නොහැකි යක්ෂයා බව ඇය පැවසුවා. ඒ යක්ෂයා තමයි, ප්‍රීබස් සහ ඔහුගේ මිත්‍රයා වන තිස් දෙහැවිරිදි කේටි, වැල්ෂ් සහ ෂෝන් ස්පයිසර් විසින් මෙහෙයවනු ලබන RNC හෙවත් රිපබ්ලිකන් ජාතික කමිටුව. එය තමයි, රිපබ්ලිකන් ස්ථාපිතයේ අත්‍යන්ත මෙවලම වුණේ. ගිම්හානය මුල ට්‍රම්ප් නාමයෝජනා දිනාගත් දා පටන් ඔවුන් ඔට්ටු අල්ලමින් සිටියා. ට්‍රම්ප්ට රිපබ්ලිකන් තල්ලුව උවමනා වුණු අවස්ථාවේදී ඒ තල්ලුව ජාතික කමිටුවෙන් ලැබුණේ නැහැ.

කොන්වේ ගේ දඟකැවීමේ පළමු කොටස වුණේ ඒ තත්වයයි. දෙවැන්න, මේ හැමදෙයක් ම නොතකා මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තෙරක් නොපෙනෙන පත්ලක සිට පහුරු ගාමින් සෙමෙන් ගොඩ එමින් තිබුණා. දැඩි සම්පත් ඌනතාවයකින් කටයුතු කළ ප්‍රචාරණ ව්‍යාපාර කණ්ඩායමක් සහ, ප්‍රායෝගික අර්ථයෙන් ගත් විට නූතන ඇමරිකානු ඉතිහාසයේ බිහිවුණු නරකම ජනාධිපති අපේක්ෂකයෙක් සමග කටයුතු කරමින් සිටි ඇය, ට්‍රම්ප්ගේ නම කියැවෙන හැම විටකම එක්කෝ මවාගත් අභිරූපණයකින් ඇස් බෝල කරකවන්නට වුණා. එසේත් නැතිනම් මළසිරුරක් සේ හැඟීම් විරහිතව ඔහේ බලා සිටියා. ඇය අතිශයින්ම හොඳින් එය කළා. මීට පෙර කිසිම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකට සම්බන්ධ වී නොසිටි කොන්වේ, තමන් මේ වන විට කේබල් පුවත්වල ඉදිරියෙන්ම සිටිනා කොන්සවේටිව් හඬක් බව අවබෝධ කර ගත්තා.

මේ වනවිට ට්‍රම්ප්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයෙ ජනමත විමසන්නෙක් වන ජෝන් මැක්ලාෆ්ලින් ගතවූ සති කිහිපයේදී ඇතැම් ප්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ට්‍රම්ප්ගේ හැසිරීම තුළින් වාසිසහගත වෙනසක් සිදුවන බව අත්දකිමින් සිටියා. නමුත් කොන්වේ පමණක් නෙවෙයි, ට්‍රම්ප් හෝ ප්‍රචාරණ ව්‍යාපාරයෙ බලාත්මක ප්‍රධානියා වුණු ඔහුගේ බෑණා වන ජරෙඩ් කුෂ්නර් පවා සිටියෙ ස්ථාවරභාවයක් ගැන දෙගිඩියාවෙන්. ඔවුන් අත්දකින අනපේක්ෂිත වාසිසහගත බව කොයි මොහොතේ හෝ අවසන් වේවි කියන හැඟීමෙන්.

අමුතු කතා කියන ස්ටීව් බැනන් පමණක් මැතිවරණ ප්‍රතිඵල තමන්ගේ වාසියට තීන්දු වේවි කියා අවධාරණය කළා. නමුත් ඒක බැනන්ගෙ මතය. ක්‍රේසි ස්ටීව් බැනන්- ඔහු කියන්නෙම, සිදුවෙන්න වැඩි ඉඩක් තිබෙන දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක්.

අතිශයින්ම කුඩා සංඛ්‍යාවක් වුණු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙ සාමාජිකයන් කණ්ඩායම තමන් ගැන හිතුවෙ පැහැදිලි ඇසක් ඇති පිරිසක් ලෙසයි. දේශපාලනයේ නියැළිලා සිටින ඕනෑම කෙනෙක් වගේ ඔවුන් තමන්ට ලැබෙන දේවල් ගැන සත්‍යවාදී අවබෝධයක් දැරුවා. ඔවුන් අතර අප්‍රකාශිත එකඟතාවක් තිබුණා. ඒ තමයි, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති නොවනු ඇති වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති නොවිය යුතුයි කියන කාරණය. පසුව සඳහන් කළ කාරණය සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි දෙයක් නොතිබීම පහසුවක් වුණා.

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් වන විට ට්‍රම්ප් බලාපොරොත්තු සහගත වී සිටියා. රිපබ්ලිකන් ජාතික කමිටුව ඔහුට තරගයෙන් ඉවත් වන්නට පවා බල කළ ටේප් පටය මුදාහැරීම නතර කර ගන්නට ඔහුට හැකියාව ලැබුණා. ෆෙඩරල් රහස් ඔත්තු සේවා ප්‍රධානී ජේම්ස් කොමී, හිලරි ක්ලින්ටන් ව මහ දවාලේ එල්ලන්නට සූදානම් වුණේ හිලරිගේ ඊ මේල් පිළිබඳ විමර්ශනය නැවත ආරම්භ කරන බව මැතිවරණයට දින 11කට පෙර ප්‍රකාශ කිරීමත් සමගයි. කොමීගේ මේ අසාමාන්‍ය හැසිරීම විසින් හිලරි ක්ලින්ටන්ගේ උත්සාහය විශාල නායයාමකට ලක් වෙමින් තිබුණා.

“මට මේ ලෝකයේ ප්‍රසිද්ධම මිනිහා වෙන්න පුළුවන්..” තමන් වෙත වරින් වර ළං වන සහ දුරස්වන ආධාරකරුවෙක් වන සෑම් නන්බර්ග් සමග මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් පිටතදී ට්‍රම්ප් පැවසුවා.

“නමුත් ඔබට ජනාධිපති වෙන්න පුළුවන්ද? නන්බර්ග් අනුභූතිමය අපේක්ෂකයෙකුගෙන් විමසන “ඇයි ඔබට ජනාධිපති වෙන්න අවශ්‍ය?” කියන ප්‍රශ්නය වෙනත් මුහුණුවරකින් ට්‍රම්ප්ගෙන් ඇසුවා. නමුත් නන්බර්ග්ට පිළිතුරු ලැබුණේ නැහැ.

මන්ද, ට්‍රම්ප් ජනාධිපති බවට පත්නොවෙන නිසා ඒ ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍ය වන්නේ නැහැ.

ට්‍රම්ප්ගේ දීර්ඝකාලීන මිතුරා රොජර් ඒල්ස් සිටියේ හරියට මෙවැනි දෙයක් කියමින්. “ඔබට ටෙලිවිෂන් රැකියාවක් අවශ්‍ය කරනවා නම් මුලින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න..” දැන් ඒල්ස් විසින් ධෛර්යමත් කරනු ලැබ සිටි ට්‍රම්ප්, තමන්ගේ සබඳතා ජාලය හරහා දූෂමාන ආරංචි පතුරුවමින් සිටියා. අනාගතය සුබ වේවි. ඒක තමයි දූෂමාන ආරංචිය.

සිතාගත නොහැකි තරම් බලවත් සන්නාමයන් සහ අප්‍රකාශිත අවස්ථාවන් සමග තමන් මැතිවරණ ප්‍රචාරණය ව්‍යාපාරයෙන් පසුව කළ එළි බසින බවට ට්‍රම්ප් ඒල්ස් හට සහතික වුණා. “මේක මම කවදාවත් සිහිනෙන් නොදුටු තරම් දැවැන්තයි..” ජනාධිපතිවරණයට සතියකට පෙර ට්‍රම්ප් ඒල්ස් සමග පැවති සාකච්ඡාවකදී කිව්වා. “මම පරාජය වීම ගැන හිතන්නෙ නෑ. මොකද ඒක පරාජයක් නොවෙයි. අපි සම්පූර්ණයෙන්ම දිනලා..” ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු විට ඒ ගැන සිදුකරන ප්‍රසිද්ධ පැහැදිලි කිරීම සඳහාත් ට්‍රම්ප් මුළුමනින්ම සූදානමින් සිටියා. “මගෙ ජයග්‍රහණය හොරකම් කරලා.!”

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ මැතිරණ ප්‍රචාරණ භට කණ්ඩායම පරාජය පිළිගන්නට වියරු සූදානමකින් සිටියා. ඔවුන් ජයගන්නට සූදානම් ව සිටියේ නැහැ.

* * *

දේශපාලනයෙදි යම්කිසි අයෙක් පරාජය විය යුතුයි. නමුත් තමන්ට ජයගන්නට පුළුවන් කියා හැම කෙනෙක්ම සිතනවා. ඒ වගේම ඔබට ජයගන්න පුළුවන් යැයි ඔබ විශ්වාස කරන්නේ නැතිනම් ඔබට ජයගන්නටත් බැහැ, ට්‍රම්ප් කැම්පේන් එකේදී හැර..!

ට්‍රම්ප්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ නිතරම දැකිය හැකි ලක්ෂණයක් තිබුණා. ඒ තමයි, එය කොයිතරම් අප්‍රියජනකද යන්න සහ එයට සම්බන්ධ හැම කෙනෙක්ම පරාජිතයෙක් බවට පත්වූ ආකාරය. ට්‍රම්ප් මේ හා සමානවම ක්ලින්ටන්ගේ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රාහකයන් බව කියන්නටත් මැලි වුණේ නැහැ. “ඔවුන්ට හොඳම දේ ලැබුණා. අපට ලැබුණෙ නරකම දේවල්’ යැයි ට්‍රම්ප් නිතර කිව්වා. ප්‍රචාරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට ට්‍රම්ප් සමග ගත කළ කාලය පුදුමාකාර ලෙස හිස තෝන්තු කරනසුලු වුණා. ඔහු වටා සිටින හැම කෙනෙක්ම මෝඩයෙක්.. ඔහු හැර!

අඩුවැඩි වශයෙන් ට්‍රම්ප්ගෙ පළමුවැනි ප්‍රචාරණ ව්‍යාපාර කළමනාකාරවරයා විදිහට සේවය කළ කොරී ලෙවන්දොව්ස්කි, නිතරම ට්‍රම්ප්ගේ ගර්හාවට ලක්වූ අයෙක්. මාස ගණනාවක් යන තෙක් ට්‍රම්ප් ඔහුට කතා කළේ “නරකම එකා” ( “the worst” ) කියලයි. 2016 ජූනි මාසයෙදි ඔහුව අවසානයේ රැකියාවෙන් දොට්ට දැමුවා. එයින් පසුව ට්‍රම්ප් නිතරම කියා සිටියෙ තමන්ගෙ මැතිවරණ ප්‍රචාරණ වැඩ කටයුතු ලෙවන්දොව්ස්කි නැතිව ඇණ හිටි බවයි. “අපි හැමෝම පරාජිතයො..” ට්‍රම්ප් පැවසුවා. “නුඹල ඔක්කොම සවුත්තුයි.. කරන්නෙ මොනවද කියල දන්නෙ නෑ… කොරී ආපහු එනව නම් හොඳයි..”

ට්‍රම්ප් ඉතා ඉක්මනින්ම ඔහුගෙ දෙවැනි ප්‍රචාරණ කළමනාකාරවරයා වුණු පෝල් මැනෆෝට් හටත් නින්දා කරන්නට පටන් ගත්තා.

අගෝස්තු මාසය වන විට ක්ලින්ටන් සමග සටන 12:17 ක් බවට පත් වෙමින් තිබුණා. දිනපතාම මාධ්‍ය විසින් ට්‍රම්ප්ගේ අතුණුබහන් පිටතට ඇද දමන තත්වයක් උද්ගත ව තිබුණා. මැතිවරණ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයක නැති බවක් පෙනීගිය මේ දුෂ්කර මොහොතේ ට්‍රම්ප් තමන්ගේ පරාජිත මැතිවරණ ව්‍යාපාරය අලෙවි කරන්නට සමත් වුණා. දක්ෂිණාංශික බිලියනපතියෙකු සහ ටෙඩ් කෲස්ගේ ආධාරකරුවෙකු වන බොබ් මර්සර් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් සමග ට්‍රම්ප් වෙත සිය සහයෝගය මාරු කළා. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය හොඳින් කෙරී ගෙන යන බව විශ්වාස කළ මර්සර් සහ ඔහුගේ දියණිය රෙබෙකා තමන්ගෙ ලෝන්ග් අයිලන්ඩ් වතුයායේ සිට ට්‍රම්ප්ගේ ඉදිරි කටයුතුවලට අරමුදල් රැස් කිරීම සඳහා හෙලිකොප්ටරයකින් පැමිණියේ ඇසිල්ලකින් එකතු කර ගත් සෙසු ප්‍රබල ධනවතුන් කිහිප දෙනෙක් ද සමගයි. නිව්යෝක් ජෙට්ස් හිමිකරු සහ ජොන්සන්ස් ඇන්ඩ් ජොන්සන්ස් උරුමකරු වූඩි ජොන්සන්ගේ හැම්ප්ටන් නිවහනට ඔවුන් එක් රැස් වුණා.

ට්‍රම්ප්ට මේ පියා හෝ දියණිය සමග සැබෑ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. වැඩිපුරම එකම මාත්‍රාවකින් කතා කරන ඒකාක්ෂර මිනිසෙක් වුණු බොබ් මර්සර් සමග ට්‍රම්ප් ඊට පෙර කතාකර තිබුණේ අවස්ථා කිහිපයකදී පමණයි. රෙබෙකා මර්සර් සමග ට්‍රම්ප්ට තිබුණු සකල ඉතිහාසය වුණේ ට්‍රම්ප් ටවර් එකේදි ඇය සමග ගත් සෙල්ෆි ඡායාරූපයක්. නමුත් මර්සර්වරුන් විසින් මැතිවරණ ව්‍යාපාරය තමන් අතට ගැනීමට සහ ඒ සඳහා ස්ටීව් බැනන් සහ කෙලියෑන් කොන්වේ යෙදවීමට ඇති සැලසුම හෙළි කළ විට ට්‍රම්ප් එයට ප්‍රතිරෝධය පෑවේ නැහැ. ඔහු ඒ වෙනුවට බොහොම අවධානාත්මක ස්වරයකින් විස්තර කළේ ‘හැම කෙනෙකුටම මේ ප්‍රචාරණ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙන්නට උවමනා වෙලා තිබෙන්නෙ ඇයි’ කියන කාරණයයි.

තමන් බිලියනපතියෙක් බව දස වතාවකටත් වඩා වැඩියෙන් කියාගෙන තිබූ මේ ජනාධිපති අපේක්ෂකයා තමන්ගේම මුදල් පවා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීම ප්‍රතික්ෂේප කළා. ට්‍රම්ප්ගෙ බෑණා වන ජරෙඩ් කුෂ්නර් සහ ඔහුගෙ බිරිඳ, මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා බැනන් ගිවිසුම් අත්සන් කරන විට හිටියෙ ක්‍රොයේෂියාවෙ ඩේවිඩ් ජෙෆෙන් සමග. ඩේවිඩ් ට්‍රම්ප්ගෙ සතුරෙක්. මේ සිද්ධිය මැතිවරණ දිනය තෙක් වසං කර ගන්න නම් තමන්ට අතිරේක ඩොලර් මිලියන 50 ක් අවශ්‍යයි කියල සැප්තැම්බරයේ පැවති පළමු විවාදයෙන් පසුව බැනන්, කුෂ්නර් සමග පැවසුවා.

“ඔහු දිනනව කියල අපිට සහතික වෙන්න පුළුවන් නම් අපිට මිලියන 50ක් හොයාගන්න පුළුවන්..” එවිට ජරෙඩ් පැහැදිලිව කියා තිබුණා.

“ජයග්‍රහණය ලැබෙන බව පෙනෙන්නට තිබෙනවා කිව්වොත් අපිට මිලියන 25 ක් හොයාගන්න පුළුවන්ද..?” බැනන් තවදුරටත් ඔහුව පෙළඹෙව්වා.

අවසානයේ ට්‍රම්ප්ට කළ හැකිව තිබූ හොඳම දෙය වුණේ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මිලියන 10 ක ණයක් ලබාදීම. ඔවුන් ප්‍රචාරණ ව්‍යාපාරය හරහා අරමුදල් එක්රැස් කරගත් වහාම ඒ මුදල ආපසු ලබාගන්න පුළුවන්. එවකට මැතිවරණ ව්‍යාපාරයෙ මූල්‍ය ප්‍රධානියා විදිහට කටයුතු කළ ස්ටීව් මචින්ට ඒ ණය මුදල ලබාගැනීම සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාදුන්නේ ට්‍රම්ප්ට මුදල් එවීම අමතක වෙන්න හැකි නිසයි.

නියත වශයෙන්ම එහි සැබෑ මැතිවරණ ව්‍යාපාරයක් තිබුණේ නැහැ. එයට හේතුව අද්වීතීය ලෙස අකර්මණ්‍ය වූ දෙයක් මිස සැබෑ සංවිධානයක් එහි නොතිබුණු නිසා. මීට පෙර හිටිය නිල නොලත් මැතිවරණ ප්‍රචාරණ කළමනාකාරවරයා වන රොජර් ස්ටෝන් ට්‍රම්ප් විසින් පන්නා දමලා. එහෙමත් නැතිනම් ඔහුම අස්වෙලා ගිහින්. මේ හැම කෙනෙක් ගැනම ට්‍රම්ප් පැවසුවේ අපහාසාත්මක දේවල්. ස්ටෝන් ට වැඩ කළ ට්‍රම්ප් ආධාරකරුවෙක් වන සෑම් නන්බර්ග්වත් ඒ ආකාරයෙන්ම දොට්ට දැමුවා. ඉන්පසුව ට්‍රම්ප් කළේ ලෙවන්දොව්ස්කිගේ කිළිටි රෙදි, ප්‍රසිද්ධියේ ඇපිල්ලීම. දියණිය ඉවන්කා ට්‍රම්ප් විසින් මහජන සම්බන්ධතා අංශයට ගෙන ආ හෝප් හික්ස් සහ ලෙවන්දොව්ස්කි අතර පුද්ගලික සබඳතාවක් ඇති වුණා. එය අවසන් වුණේ වීදියක ඇති කරගත් ප්‍රසිද්ධ ආරාවුලකින්. පැහැදිලිවම මේ මැතිවරණ ව්‍යාපාරය, කිසිවක් දිනාගැනීම උදෙසා සංවිධානය කර තිබූ එකක් නොවෙයි.

ට්‍රම්ප් විසින් සෙසු රිපබ්ලිකන් අපේක්ෂකයන් දහසය දෙනෙක් ව පරදවා තිබුණත් ජනාධිපති ධුරය දිනාගැනීම සඳහා තිබූ විපරිත වූ ඉඩකඩ එයින් අඩු වුණේ නැහැ.

බිලී බුෂ් සාකච්ඡාව නිසා එයට යම් ඉඩක් ඒ තාක් කාලයක් තිබුණාද, ඒ ඉඩත් ඇස් පනාපිට වාෂ්ප වෙමින් යන බව පෙනුණා. “මම ඉබේටම ලස්සන අයට ආකර්ෂණය වෙනවා.. මම ඔවුන්ව සිප ගන්න පටන් ගන්නවා..” ( “I’m automatically attracted to beautiful— I just start kissing them,”) ට්‍රම්ප් එන්බීසී රූපවාහිනියේ වැඩසටහන මෙහෙයවූ බිලී බුෂ් සමග එසේ පැවසුවේ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ ඇමරිකාව තුළ ජාතික මට්ටමේ සංවාදයක් සිදුවෙමින් පවතින අතරවාරයේයි. “හරියට කාන්දමක් වගේ.. හාද්දක් විතරයි… මට ඉවසන්න බෑ. ඔබ තරුවක් නම් ඔවුන් ඒකට ඉඩ දෙනවා. ඔබට ඕනෙම දෙයක් කරන්න පුළුවන්… Grab them by the pussy! ඕනෙම දෙයක් කරන්නට පුළුවන්.”

එය ඔපෙරාරූපී අනාවරණයක් වුණා. රිපබ්ලිකන් කමිටුවේ ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් ට්‍රම්ප් ටවර් හි හදිසි රැස්වීමක් සඳහා වොෂින්ටනයේ සිට නිව්යෝක් කරා කැඳවනු ලැබුවා. ට්‍රම්ගේ කණ්ඩායම මේ ප්‍රකාශයෙන් පසුව ඒ සඳහා එකඟ කරවා ගැනීමට පැය දෙකක කාලයක් අවශ්‍ය වුණා.

“බ්‍රෝ..” අපේක්ෂා භංගත්වයට පත්වූ බැනන් දුරකථනයෙන් ප්‍රීබස් ඇමතුවේ ඉච්ඡාසහගත කටහඬකින්. “අදින් පස්සෙ මම ඔබව කවදාවත් දකින එකක් නැහැ.. නමුත් ඔබ මෙතැනට එන්න ඕනෙ.. ඒ වගේම ඉස්සරහ දොරින් පිටවෙලා යන්නත් ඕනෙ.”

මීළඟට
අපකීර්තිමත් ගැහැණු සොඬා සහ ලොව ජනප්‍රියම චාටු බස් දොඩන්නා

– රදිකා ගුණරත්න

පෙර කොටස්

1 කොටස – ට්‍රම්ප්ගේ ධවල මන්දිරය හෙවත් ‘ගින්දර සහ වියරුව‘- Fire and Fury by Michael Wolff

2 කොටස – චීනය කියන්නෙ 30 දශකයෙ හිට්ලර්ගෙ ජර්මනිය!

 





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico