ගලහ රෝහල යළි විවෘත කිරීමට දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ඕනෑ – වෛද්‍ය හරිත අලුත්ගේ

දැනට වසා දමා ඇති ගලහ ප්‍රාදේශීය රෝහල යළි විවෘත කිරීමට නම් රෝහලේ කාර්ය මණ්ඩලය සහ උපකරණ සම්පූර්ණ කර වෛද්‍යවරයාට අදාළ වන්දි මුදල ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ වෛද්‍යවරයාගේ වාහනයට පමණක් සිදුවූ හානිය රුපියල් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් බවට තක්සේරු කර ඇති බවයි.

“හෙද කාර්ය මණ්ඩලයත්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයත් අදාළ අනුමත සංඛ්‍යාවල් වහාම තහවුරු වෙන්න ඕනෙ රෝහල විවෘත කරන්න කලින්. මොකද අඩු පහසුම් මැද්දෙ විවෘත කරන්න යාම තුළ මෙවැනි සිද්ධි නැවත මතු වෙන්න පුළුවන්. ඒ වගේම රෝහල් උපකරණවල බරපතළ අඩුවක් තිබුණා.

වෛද්‍යවරයාගෙ වාහනයට විතරක් වෙච්ච හානිය රුපියල් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් කියල තක්සේරු කරලා තියෙනවා. රෝහල විවෘත කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නෑ, ඕනෙම මොහොතක විවෘත කරන්න පුළුවන්. බලධාරීන් අතේ තමා වන්දි ගෙවීම සහ රෝහලේ ආරක්ෂාව තහවුරු කිරීම තියෙන්නෙ” යනුවෙන් ඒ මහතා සඳහන් කළේ රූපවාහිනී නාලිකාවකින් ඒ පිළිබඳ කළ විමසීමකදීය.

මීට මාස පහකට පමණ පෙර දරුවකු මියයාමේ සිදුවීමක් හේතුවෙන් ප්‍රදේශවාසීන් කළහකාරී ලෙස හැසිරෙමින් රෝහලට පහරදීම නිසා ගලහ ප්‍රාදේශීය රෝහල වසා දැමුණි. මෙතෙක් එය විවෘත කර නොමැති අතර ජනතාව බලවත් පීඩාවකට පත්ව සිටී.

The post ගලහ රෝහල යළි විවෘත කිරීමට දොස්තරගේ වාහනයට ලක්ෂ 20ක් ඕනෑ – වෛද්‍ය හරිත අලුත්ගේ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico