කොට කලිසම අදින රත්නපුරයේ තලේබාන් ධම්මසාරටත් බන්ධනාගාරයේදී ජම්පරය අකැපද..?

සිතාසියක් බාරදීමට පැමිණි පොලිස් නිළධාරියාට පහර දී ඔහුව ඝාතනය කල ‘තලේබාන් පන්නයේ භික්ෂුව’ සම්බන්ද පුවත මේ වනවිට රටපුරා ලැව් ගින්නක් මෙන් පැතිරෙමින් තිබේ. අදාල පොලිස් නිළධාරියා ඝාතනය කිරීමෙන් නොනැවතී පොලිස් නිළධාරීන් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමටද උත්සාහ දරා තිබේ.
චීවරයට මුවාවෙමින් රටේ මුලික නීතියට පවා යටත් නොවී විවිධ අපචාර වල නියැලෙන මෙවැනි භික්ෂුන් සම්බන්දයෙන් රටේ නිතර ප්‍රවෘත්ති නිර්මාණයවේ. ස්ත්‍රි දුෂණ , ළමා අපචාර මෙන්ම නිදන් හැරීම සහ වෙනත් බොහෝ සමාජ විරෝධී ක්‍රියාවන් මොවුන් සිදු කරන්නෙ චීවරයට මුවාවෙමින්ය. පසුගිය රාජපක්ෂ කළු දශකයේ මෙවැනි භික්ෂුන් හට රාජ්‍ය අනුග්‍රහය පවා මෙම ක්‍රියා සදහා නොමදව ලැබුණි. ඔවුන්ට අනුව මෙම චීවරදාරීන් මොන වරද කරලද චීවරයේ නාමයෙන් අප ඒවා ඉවසා වදාරා අප ජීවත්විය යුතුය. එම නිසාම ඔවුන්ට බන්දනාගාරය තුලදීද චීවරයම අවශ්‍යයය. පන්සලේ කොට කලිසමෙන් සිටිනා මොවුන්ට බන්දනාගාරයේදී ජම්පරය අකැපය.
රත්නපුර පොලීසියේ සුළු පැමිණිලි අංශයේ සේවය කරන සමරවික්‍රම නමැති පොලිස් නිළධාරියා ඊයේ (10) පෙරවරුවේ රත්නපුර, වෙරළුප ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානයට ගියේ උසාවිය නිකුත් කළ වරෙන්තුවක් ද අතැතිවයි. අදාල විහාරස්ථානයේ විහාරාධිපති කෝන්වලානේ ධම්මසාර අධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවෙකු වන අතර ඔහු දිගින් දිගටම උසාවිය මගහරිමින් සිටී.
කෝන්වලානේ ධම්මසාරට එරෙහිව දූෂණ චෝදනා ඇතුළු විවිධ අපචාර සහ විශමාචාර චෝදනා ගණනාවක් එල්ල වී ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහුට එරෙහිව පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. ගම්වැසියන්ට එල්ල වූ විවිධ තාඩන පීඩන හමුවේ ඔවුන් ජනාධිපතිවරයාට මෙන්ම ආරක්ෂක ලේකම්වරයාට පවා අවස්ථා ගණනාවකදී පැමිණිලි කර තිබේ.
කෝන්වලානේ ධම්මසාර, පන්සලට පැමිණි පොලිස් නිළධාරියාගේ ගෙල මිරිකා ඇති අතර ඔහුගේ කෑගැසීම ඇසුණු අසල්වාසීන් ඒ පිළිබඳව 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කර ඇත. ඒ අනුව පැමිණි පොලිස් කණ්ඩායම වෙත ධම්මසාර අත්බෝම්බයක් එල්ල කිරීමට උත්සාහ දරා තිබේ. කෙසේ වෙතත් පොලිස් නිළධාරීන් ඔහුගේ අතට පොල්ලකින් ගසා ඔහු මෙල්ල කරගෙන ඇති අතර පොලිස් සැරයන් සමරවික්‍රම ඒ වනවිටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ. පසුගිය කාලයේදී මෙවැනි පුවත් කිහිපයක් වාර්තා වූ අතර එහෙත් හුදෙකලා සිද්ධීන් කිහිපයදී හැරෙන්නට පොලීසිය ඇතුළු අදාල ආයතන අවශ්‍ය පියවර ගැනීමෙන් වැලකී සිටියේය.
විවිධ බෞද්ධ අන්තවාදී පිරිස් අන්‍ය ජාතීන්ට සහ අන්‍ය ආගමිකයන්ට තාඩන පීඩන එල්ල කරද්දී රජය අහක බලාගෙන සිටියේ ඔවුන්ට එරෙහිව තීන්දු තීරණ ගැනීමට තරම් කශේරුකාවක් නොමැතිවීම නිසාය. එතෙකින් නොනැවතී ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් ජාතිවාදී, ආගම්වාදී ගැටුම් අවුළුවන භික්ෂූන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටියේය. එය අවස්ථාවක් කර ගනිමින් එම භික්ෂූන් රිසි සේ කටයුතු කරද්දී ඉහත කි භික්ෂුව වැනි පුද්ගලයන් ඒ හයිය ඇඟට ගනිමින් විවිධ අපරාධ සිදු කරමින් සිටී.
මෙම සිදුවීම සිදුවන විට ධම්මසාර කොට කලිසමකින් සැරසී සිට ඇති අතර ඔහු අංගම්පොර සටන් ශූරයෙකි. ඒ බව දැන දැනත් හෙට අනිද්දා විශ්‍රාම යන වයසේ සිටි පොලිස් නිළධාරියෙකු තනිවම අදාල විහාරස්ථානය වෙත යැවීම තුළින්ම පෙනී යන්නේ පොලීසිය මෙවැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් දක්වන නොසැලකිල්ලයි.
මෙම සිදුවීමට ඊයේ සහ අද ජාත්‍යන්තර මාධ්‍ය තුළ වැඩි ඉඩක් හිමිව තිබූ අතර ඒ බොහෝ මාධ්‍ය තුළ සඳහන් වූයේ බහුතර බෞද්ධ ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ මෙම සිදුවීම දෙවැනි වන්නේ 1959 දී තල්දූවේ සෝමාරම විසින් එවකට අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට පමණක් බවයි.
චීවරය මුවාවෙමින් අපරාධ සිදුකරන පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට, චීවරයේ නාමයෙන් පොලීසිය පසුබට වියයුතු නැත. මන්ද මේ චීවරය හැඳගෙන මැරකම්, තක්කඩිකම්, දූෂණ සිදු කරන්නේ බෞද්ධ දර්ශනයට අනුගත සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් නොවේ. ඒ බව දැන දැනත් පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබාන්නේ නම්, මැර භික්ෂූන්ගේ මැරකම්වලට තිත තැබීමට කටයුතු නොකරන්නේ නම් එදා ඇෆ්ගනිථානයේ, මුස්ලිම් ආගමේ නාමයෙන් ඇති වූ තලේබාන් පන්නයේ බෞද්ධ ත්‍රස්තවාදී පාලනයක් මෙරට තුළ බිහිවනු ඇත.

The post කොට කලිසම අදින රත්නපුරයේ තලේබාන් ධම්මසාරටත් බන්ධනාගාරයේදී ජම්පරය අකැපද..? appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico