“කොටි නසන්න සුපිරි සැලසුම් සෑදු බුද්ධි අංශයේ මේජර්ට මරණ දඬුවම”-රටම හෙල්ලූ විනිසුරු ඉලංචේලියන්ගේ තීන්දුව මෙන්න

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ විශිෂ්ඨතම නිළධාරියෙකුට මරණ දඬුවම හිමිව තිබේ. ඒ ළමුවැනි සන්නද්ධ හමුදා බුද්ධි බළකායේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස මීට මාස හයකට පෙර කටයුතු කළ මේජර් ඩික්ෂන් රාජමන්ත්‍රි ටය. කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සුවිශේෂි මෙහෙයක් කළ මේජර් ඩික්ෂන් රාජමන්ත්‍රී කොටි සංවිධානයට අඩපන කිරීමට විශාල මෙහෙයක් සිදු කළේය.
ඒ අතර කොටින්ගේ යුද නැව් පිළිබදව රහස් හෙළිකර ගැනීම වැනි ක්‍රියා ප්‍රධානය. ත්‍රස්තවාදියෙක් ඝාතනය කිරීමේ වරදට වැරදිකරු කරමින් මේජර් ඩික්ෂන් රාජමන්ත්‍රීට මරණ දඬුවම ලබා දෙන්නේ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් විසින් ය.
චතුර ලෙස දෙමළ භාෂාව හැසිරවීමේ රුසියකු වූ රාජමන්ත්‍රි පළමුවැනි සන්නද්ධ හමුදා බුද්ධි බළකායට අනුයුක්තව උතුරේ සේවය කරමින් සිටියේය. දෙවැනි ඊළාම් යුද සමයේදී කොටින්ගේ ඉලක්ක විනාශ කිරීමට අවශ්‍ය දායකත්වය සපයමින් යාපනය, මන්නාරම, වැලිඔය හා මුලතිව් වැනි ප්‍රදේශවල මෙන්ම ඕමන්ත යුද හමුදා මුරපොළේද විශේෂ රාජකාරි කටයුතුවලද නිරතව සිටියේ ත්‍රස්තවාදී ඉලක්ක සොයා සිය බුද්ධි මෙහෙයුම් දියත් කරමිනි.
දැඩි කැපවීමකින් මවුබිමට සේවය කළ මෙම රණවිරුවා 1990 දශකයේදී හමුදාවේ මුලතිව්, අලිමංකඩ, ඔඩ්ඩුසුඩාන් වැනි දැවැන්ත කඳවුරු බිඳවැටෙමින් අත්අඩංගුවට පත්වූ යුද සෙබළුන් අමු අමුවේ කොටින් විසින් ඝාතනය කරනු ලබමින් සිටියදී නිවාඩු නොලබා උතුරේ රැඳී සිටිමින් සිය බුද්ධිමය දායකත්වය රට වෙනුවෙන් ලබා දෙන්නට මේජර් රාජමන්ත්‍රි කටයුතු කළේය.
ජයසිකුරු ක්‍රියාන්විතය සිදු වෙමින් පැවැතියදී ඊට ඇවැසි බුද්ධිමය තොරතුරු ලබා දෙමින් සෙසු නිලධාරීන් හා එක්ව කොටින් මැඬලමින් කොටි බළකොටු තුළට ප්‍රහාර එල්ල කිරීමට සිය සක්‍රිය දායකත්වය දුන් මේ නිලධාරියා තමන්ට මහත් හිසරදයක් බව කොටි නායකත්වය දැන සිටියේය. මේජර් ඩික්ෂන් රාජමන්ත්‍රී ප්‍රභාකරන්ගේ ඝාතන ලයිස්තුවේ ඉහලින්ම සිටි හමුදා නිළධාරියෙක් වූයේය.
මෙම නිසා ඔහු ඝාතනය කරන්නට අවස්ථා කිහිපයකම කොටි උත්සාහ කළේය. ඒ සඳහා විවිධ උපක්‍රමද යෙදවූයේය. පෞද්ගලික තොරතුරුකරුවන් හරහා වඩා වැදගත් බුද්ධි තොරතුරු ලබා දෙමින් විශ්වාසය යම් තරමකට ඇති කර ඔහුව හමුදාවේ බලය පැවැති සීමාවන්ගෙන් පිටතට ගෙන්වා ගැනීමට කොටි චරපුරුෂ සේවය නොයෙක් වර උත්සාහ දැරුවේය. සිය ජීවිතයට කොතෙක් තර්ජන තිබුණද දකුණට ස්ථාන මාරු නොඉල්ලූ ඔහු දිවා රෑ නොබලා සිය රාජකාරිය දේව කාරියක් සේ ඉටු කරන්නට සැම විටම කටයුතු කළ බව ඔහු හා සේවය කළ බුද්ධි නිලධාරීහු කියති. සිය හමුදා ජීවිතයේ වසරක් හෝ දෙකක් හැරෙන්නට වැඩිමනක්ම උතුරේ සේවය කරන්නට මේජර් රාජමන්ත්‍රි කටයුතු කළේය. යුද්ධයේදී ඔහු දැක්වූ දක්ෂතා නිසාවෙන් මේජ‍ර් ඩික්ෂන් රණශූර පදක්කමින්ද පිදුම් ලැබීය.
කොටි ත්‍රස්තයන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයා ගැනීමට සුවිශේෂී රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප්‍රකට රාජමන්ත්‍රි සිවුවැනි ඊළාම් යුද සමයේදී මුලතිව් අල්ලා ගැනීම සඳහා වැලිඔය සිට ඇරැඹි ක්‍රියාන්විතයේ 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටින්ගේ හදවත වැනි වූ වන් ෆෝ බේස් කඳවුරේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂී මෙහෙයුමක් කළේය.
කෙසේ වෙතත් 1998 වසරේදී මේජර් ඩික්ෂන්ගේ අත්අඩංගුවේ සිටි ත්‍රස්තවාදී සැකකරුවෙක් මිය යාම හේතුවෙන් මෙම අභීත රණවිරුවාට එරෙහිව නඩු පවරා තිබුනි. මෙම නඩුව සදහා මේජර් රාජමන්ත්‍රි, සැරයන් ප්‍රියන්ත රාජකරුණා පමණක් නොව කර්නල් රොනි බර්තලමියුස්වද අත්අඩංගුවේ සිටි මෙම සැකකරුගේ මරණයට වගඋත්තරකරුවන් කරවමිනි.
දීර්ඝ කාලයක් පුරාවට මෙම නඩුව විභාග වූ අතර අවසානයේ චූදිතයන් තිදෙනාගෙන් දෙදෙනකුට මරණ දඬුවම නියම කරමින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය අනුව මිනීමැරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ ඇති බවයි.
ඒ අනුව මෙම මරණයට සැකපිට චෝදනා ලැබූ හමුදා බුද්ධි නිලධාරි කර්නල් රොනි බර්තලමියුස් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අතර සෙසු බුද්ධි නිලධාරීන් දෙදෙනා වන මේජර් ඩික්සන් රාජමන්ත්‍රි හා සැරයන් ප්‍රියන්ත රාජකරුණාට මරණ දඬුවම හිමි වූයේය.
වසර 22ක සේවා කාලයකින් මොහු 2018 වර්ෂයේ ඔක්තෝබර් මස විශ්‍රාම යෑමට නියමිත අතර ඔහු දෙදරු පියෙකි. තවද වැඩිමහල් දරුවා මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව ඇත. දරුවන්ගේ හා පවුලේ ඉදිරි අනාගතය වෙනුවෙන් රුපියල් ලක්ෂ 14ක පමණ මුදලක් වාණිජ බැංකු හා මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන ඇත.
එදා කොටි ත්‍රස්තයන්ගෙන් මවුබිම බේරා ගැනීමට විශාල මෙහෙයක් කළ මේජර් රාජමන්ත්‍රි නම් මේ කීර්තිමත් බුද්ධි නිලධාරියාට යුද සමයේ සිදුවූ වරදක් හේතුවෙන් යාපනය, අනුරාධපුර හා ත්‍රිකුණාමලය යන අධිකරණ ත්‍රිත්වය තුළ දිගු කලක් පුරා පැවැති නඩු විභාගයකින් පසුව අවසානයේ මරණ දඬුවම හිමි වූයේය.

The post “කොටි නසන්න සුපිරි සැලසුම් සෑදු බුද්ධි අංශයේ මේජර්ට මරණ දඬුවම”-රටම හෙල්ලූ විනිසුරු ඉලංචේලියන්ගේ තීන්දුව මෙන්න appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico