ඔස්ට්‍රේලියාව සමරිසි විවාහ නීතිගත කරයි #SriLanka #LKA

ඔස්ට්‍රේලියාව සමරිසි විවාහ නීතිගත කරයි

වසර ගණනාවක් මුළුල්ලේ ඔස්ට්‍රේලියාවේ දේශපාලකයන් සහ සමාජය විසින් උසුළු විසුළුවලට ලක් කළ මාතෘකාවක් වූ සමරිසි/සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව අද දිනයේ ඡන්ද විමසීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හැගීම්බර ලෙස මෙසේ කීවේය.

“මේ ඔස්ට්‍රේලියාවයි. සාධාරණ, විවිධත්වයෙන් යුතු, ආදරණීය සහ ගරුත්වයෙන් පිරී ගිය ඔස්ට්‍රේලියාවයි..”

තෙවන වර කියවීම අවසානයේ සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත් කෙටුම්පත ඉහළින් සම්මත විය. එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් පමණි. ඔවුන් ද නීතිය සම්මත වන අවස්ථාවේදී එයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ කිසිදු හඬක් නැගුවේ නැත.

“ආදරය, සමානාත්මතාවය හා ගෞරවය පිරුණු දවසක්.. ඔස්ට්‍රේලියාව එය කළා..” යැයි නීතිය සම්මත කර ගැනීමෙන් පසු අගමැති මැල්කම් ටර්න්බුල් ට්විටර් පණිවුඩයක් ද එක් කිරීමට අමතක කළේ නැත.

එය සම්මත වූ බව ප්‍රකාශයට පත් වීමත් සමග ජනතා නියෝජිතයෝ සතුටින් යුතුව අත්පොළසන් නගමින් ද, එකිනෙකා වැළඳ ගනිමින් ද, දේදුණු වර්ණයෙන් යුත් ලේන්සු ආදිය ප්‍රදර්ශනය කරමින් ද මේ ඓතිහාසික අවස්ථාව පිළිබඳ සිය සන්තෝසය පළ කර සිටියහ.

මෙයට මාස දෙකකට පමණ පෙර පැවැත්වූ තැපැල් මාර්ගයෙන් ජනමතය විමසීමේ සමීක්ෂණයේදී හෙළි ව තිබුණේ ඔස්ට්‍රේලියාවනුවන්ගෙන් 61%ක්ම එනම් රටේ ජනතාවගෙන් මිලියන 12 ක්ම ප්‍රකාශ කර තිබුණේ සමරිසි විවාහ සඳහා කැමැත්ත පළ කරන බවයි. ඉන් අනතුරුව ගතවූ කාල මුළුල්ලේ ද මේ සඳහා පුළුල් ජනතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය.

මේ අනුව ඔස්ට්‍රේලියාව, සමරිසි විවාහ නීතිගත කළ ලෝකයේ 24 වන රට බවට අද දිනයේ පත්විය.

– අමාලි ජයවීර





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico