‘‘ඔව්, මට ඒඩ්ස්!‘- රැවුල් ගැහැනිය කතා කරයි. #SriLanka #LKA

‘‘ඔව්, මට ඒඩ්ස්!‘- රැවුල් ගැහැනිය කතා කරයි.

2014 යුරෝවිෂන් තරගයේදී ඈ Rise Like A Phoenix ‘‘ෆීනික්ස් පක්ෂියෙකු මෙන් නැගී සිටිමි“ යැයි ගැයුවාය. යුරෝපයේ දක්ෂතම ගායිකාව ලෙස කිරුළු පැළඳුවාය. කොන්චිටා වූට්ස් හෙවත් මේ ‘රැවුල් ගැහැනිය‘ සැබවින්ම ඒ ෆීනික්ස් පක්ෂියෙකු සේ නැගී සිටියේ ජීවිතයේ අළු මතින් බව ලොවට පසක් වූයේ ඈ ලිංග විපර්යාසයට බඳුන් වූ පිරිමියෙකු නිසාම නොවේ. තමන් වසර ගණනාවක පටන් HIV positive හෙවත් ඒඩ්ස් රෝගයෙන් පෙළෙන්නියක බව හෙළි කර සිටීමත් සමගිනි. නමුත් එසේ ලෝකය හමුවේ සිය ඒඩ්ස් රෝගී තත්වය හෙළි කිරීමට ඇයට සිදුවීම පිටුපස තිබෙන්නේ, මේ ලෝකයේ ලිංගික සුළුතරය තවමත් මුහුණපාන කෙණහිලි කම් සහ බලහත්කාරී අමානුෂික සැලකීම්වල ප්‍රතිඵලයක් ලෙස ය.

තමන් ඒඩ්ස් රෝගය සඳහා දැන් වසර ගණනක පටන් ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව මේ 29 හැවිරිදි අති සුන්දර තරුණිය කියා සිටියාය.

ඒඩ්ස් රෝගයෙන් යමෙකු පෙළෙමින් සිටීම අතිශය පෞද්ගලික කාරණයකි. නමුත් අවසානයේ ඒ බව ලොවට ප්‍රසිද්ධියේ කීමට ඇයට සිදුවුණේ අතීත පෙම්වතෙකු ඒ බව හෙළිකරන මෙන් තර්ජනය කළ නිසා ය.! ඇය එසේ නොකරන්නේ නම් තමන් එසේ කරන බව ඔහු ඇයට අසික්කිත ලෙස සහ තර්ජනාත්මක ලෙස කියා තිබේ.

‘‘මේ කාරණය රහසක් වශයෙන් තබාගන්නට මට උවමනා වුණා. නමුත් ඔහු මට තර්ජනය කළා..“ යැයි කොන්චිටා කියන්නීය.

ඈ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙසේ ද ලීවාය.

“I will not give anyone the right to frighten me and influence my life,”
‘‘මා බියවැද්දවීමට හෝ මගේ ජීවිතයට බලපෑම් කිරීමට මම කිසිවෙකුට අයිතියක් නොදෙන්නෙමි..“

“Coming out is better than being outed by a third party.”
‘‘ඒ බව හෙළිකරමින් ඉදිරියට ඒම, තෙවැනි පාර්ශවයක් විසින් ඒ බව හෙළිකිරීමට වඩා හොඳ ය.“

දිගු කාලයක් නිසි ප්‍රතිකාර ලබාගත් නිසා තමන්ගේ රුධිරයේ එම වෛරසය දැන් නොමැති බවත්, තමන්ගෙන් කිසිවෙකුට එම රෝගය සම්ප්‍රේෂණය නොවන බවත් කොන්චිටා තවදුරටත් කියා ඇත.

‘‘මා විසින්ම මේ බව හෙළිකිරීම මගින් එච්අයිවී ආසාදිත තත්වයට පත්වූ අය සමාජයේ ගර්හාවට පත්වීම වළක්වමින් ඒ අයට ධෛර්යය ලබාදෙන්නට මට අවශ්‍යයි.“ යැයි කොන්චිටා කීවාය.

මේ ඔස්ට්‍රියානු ජාතික දිරිය තරුණිය අපේ කාලයේ වීරවරියකි. ඇය මේ වන විට සිය සංගීත ජීවිතයේ තවත් කඩඉමක් සටහන් කරමින් BBC Radio 2 හි Friday Night Is Music Night වැඩසටහනට පටිගත කිරීම් කරන්නේ බීබීසී සේවයේ 60 දෙනෙකුට අධික ප්‍රසංග වාද්‍ය වෘන්දය සමගිනි. මැයි මාසයේ පෘතුගාලයේ ලිස්බන් අගනුවර පැවැත්වීමට නියමිත යූරෝවිෂන් ගීත තරගයේ 63වැනි අදියරේදී එය විකාශය කිරීමට නියමිත ය.

කෙනෙකුගේ ලිංගික නැඹුරුතාවය හෝ ලිංගික අනන්‍යතාවය තරමටම ඒ පුද්ගලයා පෙළෙන රෝගී තත්වයන් ද පුද්ගලිකත්වයේ අයිතියයි. එය හෙළි කිරීම හෝ නොකිරීමද ඒ පුද්ගලයාගේ අයිතියයි. එසේ නම් ඒවා හෙළිකරන සේ බල කිරීමට කොන්චිටාගේ පෙම්වතෙකුට තබා තාත්තාටවත් අයිතියක් තිබේද? අතිශය පුද්ගලික කාරණා සම්බන්ධයෙන් තවත් මනුෂ්‍යයෙකු බ්ලැක්මේල් කරන්නට කිසිවෙකුට අයිතියක් තිබේද?

ඇසිය යුතු ප්‍රශ්න ඒවා ය.

– රදිකා ගුණරත්න | outboundtoday.com





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico