ඔබේ කාර්යාලයේ යාබද අසුනේ සිටින්නේ සමලිංගිකයෙකු විය හැකියි. හොඳින් බලන්න. #SriLanka #LKA

ඔබේ කාර්යාලයේ යාබද අසුනේ සිටින්නේ සමලිංගිකයෙකු විය හැකියි. හොඳින් බලන්න.

සරල වශයෙන් දැක්වුවහොත් සමලිංගික පුද්ගලයින් හා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් අප්‍රිය කරන, සමච්චලයට, අපහාසයට ලක්කරන හා ඔවුන් පිළිබඳ භීතිකාවෙන් සිටීම නිසා ඔවුන්ට එරෙහිව සිදුකරන විවිධාකාරයේ හිංසනයන්ට එරෙහිවීමේ දිනයයි. ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාව ඇතුළු විකල්ප ලිංගික අනන්‍යතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා සහිත ප්‍රජාව සම්බන්ධයෙන් ඇති ගැටළු එක් පසෙකින් ඔවුන්ගේ අනන්‍යතාවය පිළිගැනීම හා ඒවාට නිසි ඇගයීම ලබාදීම සම්බන්ධයෙන් වන අතර අනෙක්පසින් සාමාන්‍ය යැයි පොදු සමාජයේ විශ්වාස කරන විෂම ලිංගිකයින් නොවීමේ හේතුව මත විවිධාකාරයෙන් වෙනස්කොට හා නොසලකා හැරීම සම්බන්ධයෙන් වේ. මෙම දිනය වැදගත්වන්නේ ඉහත කී ඒවායෙන් දෙවන කරුණ සම්බන්ධයෙනි. එනම් තමා විෂම ලිංගිකයෙකුව ඉපදීම නිසා සමලිංගිකයෙකු හෝ ලිංගික අනන්‍යතාවය වෙනස් පුද්ගලයින් දිරවාගැනීමට අපොහොසත් වීමයි. මෙම දිරවීමේ අපහසුතාව පුද්ගල වශයෙන් පමණක් නොව, කණ්ඩායම් වශයෙන්ද, ආයතන වශයෙන්ද පැවතීම හඳුනාගත හැකිය.

විවිධ රාජ්‍ය ආයතන වල සේවය ලබා ගැනීමට පැමිණෙන සමලිංගික හෝ සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව පිටුදැකීමේ ක්‍රියාවලියක් අදටත් පවතී. එය රාජ්‍ය මට්ටමෙන් සිදුවන නොසලකා හැරීම්වල සිට පුද්ගල මට්ටමෙන් සිදුවන අපහාස කිරීම් දක්වා ව්‍යාප්ත වන තත්ත්වයකි. අඩුම තරමේ වර්තමානය වන විටත් සමරිසි පුද්ගලයෙකුට තමන්ගේ හෘදසාක්ෂියට එකඟව රුධිරය පරිත්‍යාග කළ නොහැකි අතර රුධිරය පරිත්‍යාග කිරීම සම්බන්ධ උපදෙස් පත්‍රිකාවේ ‘පිරිමියෙකු සමඟ ලිංගිකව හැසිරී ඇති පිරිමි පුද්ගලයෙකු නම් රුධිරය ලබා දීමට නොසුදුසුය’ යන තහනමද පනවා තිබේ. සුළුතර ලිංගික ප්‍රජාවට තම මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය වෙමින් පවතින රටක් තුළ වර්තමානයේදී පවා අප විසින් සාකච්ඡා සඳහා සම්බන්ධ කරගන්නා මන්ත්‍රීවරුන් අසන්නේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට ශ්‍රී ලංකාවේ ප්‍රශ්න තිබෙනවාද යන්නයි.

සමලිංගික භීතිකාව හා සංක්‍රාන්ති භීතිකාව ඉතා ඉහළ මට්ටමින් සිදුවන ස්ථානයක් ලෙස වැඩ කරන ස්ථානය හඳුනාගත හැකිය. මෙම ලිපිය මගින් ඔබට වැඩ කරන ස්ථානයේදී සමරිසි හා සංක්‍රාන්ති භීතිකාව තුරන් කිරීම සඳහා සිදුකළ හැකි දේවල් පිළිබඳ මඟ පෙන්වීමක් කරනු ඇත. එහිදී වෙනස්කොට සැලකීම ඉහළ මට්ටමින් සිදුවන ස්ථානයක් ලෙසට සේවා ස්ථානය කැපී පෙනෙයි. ඇතැම් විට සමලිංගික භීතිකාව ඔස්සේ සිදුවන වාචික අකර්මන්‍ය කිරීම් පීඩන තත්ත්ව (හිරිහැර) හා ප්‍රචණ්ඩත්වය යනාදී අත්දැකීම් හමුවේ වෙනස්කොට සැලකීම් සිදුවන අතර ඒවා බලසම්පන්න වුවද පැහැදිලිව දැකගත නොහැකිය. නමුත් එකී වෙනස්කොට සැලකීම් සැහැල්ලු කොට සැලකිය නොහැක. ලිංගික දිශානතිය නිසා සිදුවන වෙනස්කොට සැලකීම් ප්‍රවර්ධනය කරන ආකාරයෙන් පරස්පර විරොධී අදහස් සමාජගත වීම නිසා හා LGBTIQ ජනයා පිළිබඳ නින්දා සහගත අදහස් නිර්මාණය කිරීම නිසා එකී වෙනස්කොට සැලකීම් ප්‍රවර්ධනය විය හැකිය. විශේෂයෙන්ම සතියෙහි වැඩි දවසක් සේවකයන් තම කාර්යාලයේ සේවයෙහි නියැලෙන නිසා වැඩකරන ස්ථානය තුළ වෙනස්කොට සැලකීම මානසික සෞඛ්‍ය කෙරෙහි ප්‍රබලවම බලපෑමක් ඇතිකරන බව පැහැදිලිවම පෙනීයයි. නිදසුනක් වශයෙන්, වෙනස්කම්වලට මුහුණ දෙන පුද්ගලයන්ට අඩු ආත්ම ගෞරවය, හුදකලා හැඟීම්, භීතිය, ලැජ්ජාව, අපේක්ෂා භංගත්වය, කලකිරීම, කෝපය හා අමනාපය වැනි තත්ත්ව ඇති විය හැකිය. කාංසාව සහ මානසික අවපීඩනය වැනි ආතතිමය ආශ්‍රිත ආබාධ ඔවුන් තුළ වර්ධනය වීමට දැඩි අවදානමක ඔවුන් සිටියි. එසේම ආහාර ගැනීමේ අක්‍රමිකතා, ස්වයං හානිකර හැසිරීම් වර්ධනය කිරීම හෝ සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති විය හැක.

සෞඛ්‍ය සම්පන්න වැඩ සංස්කෘතියක් ඇති කිරීම සහ විවිධත්වය දිරිමත් කිරීම පුද්ගලයා සහ සමාගම යන දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් ලෙස බලපාන බව කිව හැකිය. සේවකයින් අසතුටෙන් හෝ කනස්සල්ලෙන් සිටින විට සමාගමෙහි වර්ධනයෙහි පසුබෑම වැඩිවීම, සදාචාරය අහිමි වීම, කාර්ය සාධනය අඩු වීම සහ කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වයාම සමගින් සමාගමෙහි යම් අරාජික තත්වයක් පෙන්නුම් කෙරේ. සේවා යෝජකයෙකු නැතහොත් ප්‍රධානියෙකු ලෙසින් ඔබට කළ හැක්කේ කුමක්ද? පළමු පියවර වශයෙන් LGBTIQ ප්‍රජාව වෙනුවෙන් මිත්‍රශීලි වූ වැඩ පරිසරයක් නිර්මාණය කරමින් වෙනස්කොට නොසැලකීමේ ප්‍රතිපත්තිය ශක්තිමත් ලෙස සේවා ස්ථානයෙහි පවත්වා ගත හැකිය. සමාගම් අත්පොත තුළට එකී ප්‍රතිපත්තිය ඇතුළත් වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ විසින් එම ඇතුළත් කොටගත් ප්‍රතිපත්තියට අනුව සමාගම තුළ එම පණිවුඩය ගෙනයමින් රැකියා ස්ථානයේ නොගැලපීම් තත්ත්ව / අහිතකර ස්වභාවයන් හෝ හිරිහැර හා පීඩන වලින් තොරවූ ස්ථානයක් ලෙස සේවක සංවාදයේ පටන්ම තහවුරු කළ යුතුය. ලිංගික දිශානතිය හා ලිංගික අනන්‍යතාව මත පදනම්ව වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් පිළිබිඹු වන අයුරින් පැහැදිලි වාර්තාකරණ ක්‍රියාවලියක් සකස් කළ යුතුය. වෙනස්කොට සැලකීම මත LGBT සේවකයින්ට එරෙහිව සිදුවන ප්‍රතිප්‍රහාර එල්ල කිරීම්, හිංසනය හා හිරිහැර කිරීම සම්බන්ධයෙන් සේවකයන් හා කළමනාකරණය පුහුණු කිරීම අතිශයින් අතවශ්‍යය වූවකි.

එමෙන්ම සමරිසි භීතිකාව හා සංක්‍රාන්ති භීතිකාව තුරන් කිරීම වෙනුවෙන් තනි පුද්ගලයෙකු ලෙස ඔබට ද යමක් කළ හැකිය. එනම් LGBTIQ ආශ්‍රිත විවිධාංග සදහා සහභාගීවීම, LGBTIQ සාහිත්‍ය කියවීම, LGBTIQ ප්‍රජාව සමඟ කතා කිරීම, සවන් දීම හා ඔවුගෙන් යමක් ඉගෙනීම ඔබට කළ හැකිය. එසේම පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාව උපකල්පනය නොකළ යුතු අතර සමරිසි සබඳතා පවත්වන අයද විෂම ලිංගික සම්බන්ධකම් පවත්වන ආකාරයෙන් ගෞරවාන්විත හා පරිසමාප්ත හැසිරීම් නිරූපනය කිරීමද වැදගත් වේ. එමෙන්ම සමරිසි අයගේ ආදර සම්බන්ධතාවල පවතින්නේද විෂම ලිංගික අයගේ මෙන්ම චිත්තවේගීමය හා රොමෑන්තික හැඟීම් බව තේරුම් ගත යුතුය. විෂම ලිංගිකයෙකු වශයෙන් එම ප්‍රජාවට ඕනෑම අවස්ථාවක සිදුවන වෙනස්කමක් අසාධාරණයක් වෙනුවෙන් පෙනීසිටීම හෝ ඒ පිළිබඳව විවෘත සාකච්චා කිරීම කළ හැකිය. ඔබ LGBTIQ ප්‍රජාව කෙරෙහි මිත්‍රශීලිත්වය පෙනුම් කරනු වස් ඔවුන් වෙනුවෙන් සුඛිත පරිසරයක් නිර්මාණය කිරීමට ඔබට ලේබලයක් පැළඳීමෙන් හෝ ඔබේ සේවා ස්ථාන මේසය මත ස්ටිකරයක් ඇලවීමෙන් යනාදී සරල ක්‍රම හරහා දායක විය හැක. ඔබේ ආයතනයෙහි LGBTIQ පුද්ගලයන් සිටිය හැකි බැවින් අන්තර් ක්‍රියාව තුළ ඔබ ලිංගික දිශානතිය ගැන කතා කරන ආකාරය පිළිබඳව නිතරම සිහියේ තබාගත යුතුය.

මේ තරඟකාරී ලෝකය තුළ විවිධත්වය මතින් සුවිශාල ප්‍රතිලාභ අත්පත් කරගත හැකිය. එකී තරගකාරීවය සංවිධානයක් තුළට ද සමපාත වන්නේය. මෙය ඵලදායිභාවයට හා සේවක තෘප්තියට පමණක් නොව, සේවකයින් අතර නිපුණතාවයන් වර්ධනය කරමින් තරගකාරීත්වයක් නිර්මාණය කිරීමට හේතු වනු ඇත. අනතුරුව නිර්මාණශීලීත්වය, වර්ධනය හා නව්‍යතාවයන් ජනිත වීම සඳහා විවිධත්වය උපකාර වන අතර, විවිධත්වය තුළ සිදු කරන ආයෝජනය ඔබේ ව්‍යාපාරයෙහි අනාගතය සඳහා සිදුකරන මහඟු ආයෝජනය කිරීමකි. ඔබත් වෙනස්කම් පිටු දකිමින් ඔබගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්න. තමන්ගේ යාබද පුටුවේ සිටින තැනැත්තා ආදරය කරන්නේ කාහටද, ලිංගික ක්‍රියාවන් කරන්නේ කා සමගද යන්න සොයමින් ඒවා අන් අය සමග පවසා විවේචනය කිරීම හා අපහාස කිරීමට වඩා එම පුද්ගලයා සතුටින් සිටින්නේද? නිසි ආහාර වේලක්, නිසි නින්දක් ලබාගත්තාද යන්න සොයා බැලීම මගින් මනුෂ්‍ය ජීවිතයකට සතුටක්, සිනහවක් කැන්දා ගෙන ඒමට ඔබට හැකිවනු ඇත. ඔබට ආදරය, විරහව, කුසගින්න, ආශාවන්, දුක, වෛරය, ඊර්ෂ්‍යාව දැනෙන ආකාරයටම ඔවුන්ටද එම හැගීම් පවතී. ඒ සියල්ල සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය විනා සමලිංගික වීම නිසා සිදුවන එවා නොවේ. සමරිසි භීතිකාව තුරන් කරමු. සියල්ලන්ටම සතුටින් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගමු! අද වැනි ජාත්‍යන්තර සැමරුම් දිනයක් අර්ථවත් වන්නේ එලෙස සිදුකිරීමෙන් පමණි.

– තුෂාර මනෝජ්





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico