ඒකාබද්ධය ඒකාධිපති ගමනක: බැසිල්ගේ කල්ලිවාදය නිසා ඒකාබද්ධය හබක්

ඒකාබද්ධය ඒකාධිපති ගමනක: බැසිල්ගේ කල්ලිවාදය නිසා ඒකාබද්ධය හබක්

බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය තුළ කල්ලි වාදයක් ඇති කර තිබූ බවත් ඒ තුළින් තමා ඇතුළු කිහිපදෙනෙකුට දැඩි අසාධාරණයක් සිදු වූ බවත් රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පැවසුවාය.

පසුගිය ආණ්ඩු සමයේදීත් බැසිල් රාජපක්ෂ මහතා කල්ලිවාදයක් ඇති කර තිබූ බවත්, මේ හරහාත් යම් යම් පිරිස්වලට අසාධාරණ සිදු වූ බවත් ඒ මහත්මිය පවසා සිටියාය.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ සිටින සමහරු ඒකාධිපතියන් සේ වැඩකටයුතු කරන බවත්, මෙම ක්‍රමවේදයන් නිසා ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට නොහැකි වූ බවත් ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.

ඡන්දෙන් පසු ඒකාබද්ධය නටබුන් වෙයි

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසූවේ පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටබුන් බවට පත්වන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කළේය.

එම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් සිටි බවද යම් පිරිසක් පොහොට්ටුව මූලික කරගනිමින් පක්ෂයක් නිර්මාණය කරගත් බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශක්තිය අඩුවී යන බවද කියා සිටියේය.

ශක්තිය අඩුවී ගියහොත් 2001 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සිදුකළ දේවල් එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ හැකි බවද වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් සිටියද තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහජන නියෝජිතයෙකු බවට පත්වූ බවත්, මේනිසා හරිතැනදී හරි තීරණය ගැනීමට සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico