“එල්.ටී.ටී.ඊ ඝාතන ලැයිස්තුවේ රාජිත හිටියා” – පියාගේ ප්‍රකාශය ගැන චතුර සේනාරත්න පිළිතුරු දෙයි

රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස තම පියා හොඳින්ම හඳුනන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

ඊයේ (20) පෙරවරුවේ හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.

“එතුමාට තරම් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් පීඩාවට පත් වූ දකුණේ දේශපාලඥයෙක් අද මේ රටේ ජිවතුන් අතර නැහැ. තොටළඟ බෝම්බයෙන් බෝම්බ කෑලි දෙකක් තමන්ගේ පපු කුහරයේ තබාගෙන ඒ වේදිකාවෙන් ජිවත් වෙලා ඉන්න එකම දේශපාලඥයා තමයි එතුමා. 1998දී අපේ මුළු නිවසම ආරක්‍ෂිත කඳවුරක් බවට පත් කරලා විශාල ආරක්ෂක කණ්ඩායමක් මගේ පියාගේ ආරක්ෂාව යෙදෙව්වා. ඒකට හේතුවක් තමයි එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එක්සත් ජාතික පක්ෂයේ ඝාතන ලැයිස්තුවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, අනුර බණ්ඩාරණායක, රාජිත සේනාරත්නවත් ඇතුළත් කිරීම තුළින්. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් දෙන්නේ ආරක්ෂක නිලධාරීන් දෙන්නයි.”

“එතුමාට ඒ මොහොතේදීත් ඒ වගේ පස් ගුණයක් පමණ ආරක්ෂාව දුන්නා ඒ  එල්.ටී.ටී.ඊ ඝාතන ප්‍රයත්නයන් හින්දා. ඒ නිසා එතුමා ත්‍රස්තවාදය හා රණවිරුවන් මොකක්ද කියන එක හොඳට දන්නවා. ඒක පටලවා ගත්තට ඒක කරන්න දෙයක් නැහැ මේ රටේ මාධ්‍ය සහ අනෙකුත් ජනතාව. එතුමා සියලු තනතුරු පරිත්‍යාග කරලා මේ රටේ ත්‍රස්තවාදය පරාජය කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ගාවට ගියේ. මේ රටේ ත්‍රස්තවාදය පරාජය කරන්න අවශ්‍ය කරන ශක්තිය ලබලා දුන්නා. අද තියෙන්නේ මේ රටේ වෙනස් තත්වයක්. අපිට තියෙනවා මේ රටේ ජනතාව එක්සත් කරලා මේ රට අභිමානවත්  ජාතියක් බවට ගොඩ නැගීමේ අභියෝගය. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න අලුත් ගමනක් අලුත් දැක්මක් එක්ක ඉදිරියට යන්න ඕනේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico