එල්ලා මරන්න කැබිනට් මණ්ඩලයම කැමතියි…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරු සිය එකඟතාව පළකර ඇත.

ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මන්ඩල රැස්වීමේදී මෙම එකගතාවය පලවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී සිටින ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි බලපෑමක් තමන්ට එල්ල වී ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි ජනාධිපතිවරයා පැවැසීමත් සමග කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඇමැතිවරු ඒ සඳහා අත ඔසවමින් ඊට අනුමැතිය පළකර ඇත.

මෙහිදී ඇමැතිවරු කිහිප දෙනකුම රට තුළ පැතිර ගොස් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමට නීතිය තදින් ක්‍රියාවට නැංවිය යුතු ආකාරය පිළිබඳව කරුණු පවසා තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ‍ලේඛනයන් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියට මෙහිදී දැනුම් දී ඇත.

මේ අතර බුද්ධශාසන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී ඒකමතිකව තීරණය කළ බව පැවැසීය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති ප්‍රතිපාදන සකස් කිරීමට අධිකරණ ඇමැතිවරියට මෙහිදී බාර දුන් බවද ඒ මහතා කීය.

ඒ අනුව ප්‍රථමයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඉදිරියේදී අනෙකුත් වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය. රට තුළ අපරාධ වැඩිවීමට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය බවත් මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවක් එල්ල නොවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

The post එල්ලා මරන්න කැබිනට් මණ්ඩලයම කැමතියි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico