උඩ පළාත ප්‍රාදේශීය සභාවේ ගුටිකෙළියක් – සභාපතියි විපක්‍ෂ නායකයි රෝහලේ

උඩ පළාත ප්‍රාදේශීය සභාවේ ගුටිකෙළියක් - සභාපතියි විපක්‍ෂ නායකයි රෝහලේ

ගම්පොල උඩ පළාත ප්‍රාදේශීය සභාවේ ඊයේ (12) ඇතිවූ ගැටුමකින් එහි සභාපතිවරයා තුවාල ලැබූ අතර මෙම ගැටුම අවස්‌ථාවේ ඊට මැදිවූ විපක්‍ෂ නායකවරයාද හදිසි හෘදයාබාධයකට ලක්‌ව රෝහල් ගත කර ඇත.
  
මෙම ගැටුම දුරදිග යැම නිසා එය මැඩ පැවැත්වීමට ගම්පොල පොලිසිය සහ තවත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ප්‍රාදේශීය සභාවට කැඳවූ අතර එම නිලධාරීහු දැඩි වෙහෙසක්‌ දරා ගැටුම මැඩ පැවැත්වූහ.
 
ගම්පොල උඩ පළාත ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී එහි බහුතර බලය කිසිවකුටත් හිමි නොවූ අතර මේ නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්‌ව සභාව පිහිටුවීමට තීරණය කර තිබුණි.
 
මේ අතර සභාපති ඩී. ගුණසේන මහතා පොහොට්‌ටුවෙන් ඉල්ලා ජයග්‍රහණය කර තිබුණත් ඔහුට මෙවර සභාපති ධුරය අහිමි වන බව දැනී එක්‌සත් ජාතික පක්‍ෂය සමග එකතුවී සභාවේ බලය පිහිටුවා ගත්තේය. ඒ අනුව සභාවේ උප සභාපති ධුරය එජාපයේ අසේල අමරසේන මහතාට හිමිවිය. මෙම තත්ත්වයත් සමග සභාව පිහිට වූ දිනයේ සිටම එහි ගැටුම් ඇති විය.
 
විපක්‍ෂයේ (ශ්‍රීලපොපෙ) මන්ත්‍රීවරුන්ට සභාවේ ප්‍රතිපාදන ලබා නොදෙන බවට විරෝධය පළ කරමින් ඊයේ උදැසන උඩ පළාත සභාව ඉදිරිපිට විපක්‍ෂයේ මන්ත්‍රීවරු 15 දෙනෙක්‌ ප්‍රදේශවාසීන් සමග එක්‌ව උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ.
 
මෙදින සභා රැස්‌වීමද පැවැති අතර උද්ඝෝෂණයෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ඒ සඳහා සහභාගි වීමට ගිය අතර විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආසන වෙනස්‌ කර තැබීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් සභාව තුළ උණුසුම් තත්ත්වයක්‌ හටගත්තේය. එහිදී මන්ත්‍රීවරයකු විසින් එල්ල කළ බෝතල් පහරක්‌ වැදීම නිසා සභාපතිවරයා රෝහල් ගත කිරීමට සිදුවිය.
 
සභාවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සමග පොලිසියද එහි පැමිණි අතර ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ආර්. ජයන්ත මහතා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා සභාපතිවරයා ආරක්‍ෂා සහිතව සභාවෙන් එළියට ගෙන එන ලදි.
 
විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ මේස, පුටු පෙරළා අසැබි වදනින් බැණ වැදී කෑ කෝ ගැසීමත් සමග ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ද ඒවාට පිළිතුරු දීම නිසා සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවිය.
 
සභාපතිවරයාගේ ඇසකට හානි සිදුවී ඇතැයි පවසා ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇති අතර විපක්‍ෂ නායක ධර්මසිරි අගලවත්ත මහතාට (ශ්‍රීලපොපෙ) හදිසි හෘදයා බාධයක්‌ ඇතිවීම නිසා ඔහුද පරීක්‍ෂණ ගණනාවකට යොමුකොට ඇත.
 
සභාව ඉදිරිපිට උද්ඝෝෂණ පැවැති අවස්‌ථාවේ ගම්පොල අවට පොලිස්‌ ස්‌ථාන ගණනාවකින් නිලධාරීන් එහි කැඳවා තිබූ අතර සභාව අවට ආරක්‍ෂාවද දැඩි කොට තිබුණි.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico