‘ඇවන්ගාඩ්’ නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලන ගෝඨාගේ පෙත්සම 22 සලකා බැලේ

පසුගිය රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමන් ඇතුළු විත්තිකරුවන්ට පවරා ඇති නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ලබන 22 දා සලකා බැලීමට අභියාචනාධිකරණය  ඊයේ (13) තීරණය කළේය.තමන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ අදාළ නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව අදාළ පෙත්සම මගින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබේ.
අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවට එරෙහිව තමන් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද එය විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බව අදාළ පෙත්සම මගින් අවධාරණය කර තිබේ.
මේ හේතුවෙන් අල්ලස් කොමිසම විසින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව නීති විරෝධී බවට තීන්දු කොට එම නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණී. එහිදී පෙත්සම ලබන 22 දා සලකා බලන බව ප්‍රකාශ කළ විනිසුරු මඩුල්ල එදිනට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි පාර්ශවකරුවන්ට නියම කළා.

The post ‘ඇවන්ගාඩ්’ නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලන ගෝඨාගේ පෙත්සම 22 සලකා බැලේ appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico